Monday, July 11, 2016

කටකතා : මහා ජනමාධ්‍ය පරදවන චූල සන්නිවේදනය



ලාංකේය සමාජය තුළ කටකතා මගින් ප්‍රබල, එසේම සැඟවුණු භූමිකාවක් ඉටුකෙරෙමින් තිබෙන බව වඩාත් විමසිලිමත්ව බැලූ විට හඳුනාගත හැකිය. විශේෂයෙන්ම මැතිවරණ කාල වකවානුවලදී මෙම තත්ත්වය වඩාත් පැහැදිලිව දැකිය හැකි වේ. වෙළෙඳ ප්‍රචාරණය තුළද කටකතා විශේෂ කාර්යභාරයක් සිදු කරමින් සිටී. එසේම නූතනය වන විට කට කතා සඳහා මූලාශ්‍ර සපයමින් ඇත්තේ අන්තර්ජාලය බවද හඳුනාගැනීමට පිළිවන. පැරණි ග්‍රාමීය සමාජයේ සිට නූතන සයිබර් අවකාශය දක්වාම පැතිර ආ කටකතාව නමැති අවිධිමත් සන්නිවේදන ක්‍රමයේ සන්නිවේදනාත්මක හැඩරුව කෙබඳුද? කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා සමග මා විසින් කෙරුණු සාකච්ඡාවක් ඇසුරෙන් සැකසුණු මෙම ලිපිය, 'කටකතාව' නමැති චූල සන්නිවේදන ක්‍රමය පිළිබඳ සන්නිවේදන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරයි. මෙම ලිපිය මුල් වරට 'මුරගල' සඟරාවේ 2007 නොවැම්බර් කලාපයේ පළ විය.