කවිකම්


  ''භින්නෝන්මාදියාගේ රොමෑන්ටික් රාත්‍රිය''
 (කාව්‍ය සංග්‍රහය) - 2015





  •  විචාර

මැයි  02 වන දා කවියක් හෙවත් 
කම්කරුවකුගේ විසංවාදී සිතිවිලි

ගියේ ඊයෙ අපි පෙළපාලි
එක එක පාට කොඩි යට
පැතුවේ ජයයි
එක එක උතුමන්ට

යළිත් අද නුඹ මා 
වැටිලා එකම මහ පාරට
අතුගානවා පාට රැළි කොළ 
ඊයේ ඉරී විසිරුන

හිස් උඩින් ඊයේ වෙන් වෙන්ව ලෙළදුන්
එක එක පාට රැළි කාෙළ
ලජ්ජා බයක් නැතිවම
එකින් එක පැටලී වැටෙන කොට
අද කුණු කරත්තේ පතුළට...
බලාපං.... කොච්චර අපූරුද?

ඉතිං අපි මාරුවෙන් මාරුවට 
කුණු කරත්තෙත් තල්ලු කරගෙන 
අැවිදගෙන යන කොට පෙරට
දැනෙන කොට තෙහෙට්ටුව අැඟට
අදින්නේ එකම සූස්තිය
මොහොතක අාශ්චර්යයක් දකිනට
බොන්නේ එකම ප්ලේන්ටිය
කඩාගෙන දෙකට
(ඒකත් පෙට්ටි කඩේ පොතට...!)

මචං...
ඊයේ අපෙ හිතේ  තිබුනත් කහට
මැකී ගිය හැටි පුදුමයි
අද උදේ එළි වෙනකොට...!


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
ප්‍රභාත් චින්තක මීගොඩගේ කවියාගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය 'භින්නෝන්මාදියාගේ රාෙමෑන්ටික් රාත්‍රිය' වේ. ලෝක කම්කරු දිනය වන මැයි මස 01  වැනි දා, පෙළපාලි ගිය කම්කරු මිතුරන් දෙදෙනකු ඊට පසු දින, එනම් මැයි දෙවැනිදා හමු වූ මොහොතක, එක් කම්කරු සහෝදරයකු සිත තුළ උපන් සිතිවිලි දාමයකින් විශද වන පොදු මානුෂීය ගුණය, මේ නිර්මාණයෙන් පිළිබිඹු වේ. වෘත්තියෙන් මොවුන් දෙදෙනාම එකම වෘත්තියකට අයත්ය. එහෙත් ඔවුන් දෙදෙනාගේ දේශපාලන විශ්වාස, අදහන දේශපාලන නායකයින් වෙනස් බවයි කවියා පළමුවෙන් අපට හඟවන්නේ.

'ගියේ අපි ඊයෙ පෙළපාලි
එක එක පාට කොඩි යට
පැතුවේ ජයයි උස් හඬින් 
එක එක උතුමන්ට...'

ඔවුන් පෙළපාලි යන්නේ විවිධ පාට කොඩි යටය. විවිධ පාටින් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය වේ. 'එක එක උතුමන්ට' යැයි කවියා පවසන්නේ වෙනස් දේශපාලන නායකයින්ය. උතුමාණන් වෙනස්ය. කොඩි නියෝජනය කරනු ලබන පක්ෂ වෙනස්ය. එහෙත් අවසානයේ අනුගාමික සහෝදරවරුන්ගේ පැතුම නම් එකය. එනම්, ජයග්‍රහණයයි. ඒ ජය ඔවුන්ට ලැබෙන ජයක්ද, නායකයින්ට ලැබෙන ජයක්ද කියා ඔවුහු නොදනිති. එහෙත් ඔවුන්ගේ සහෝදරත්වයට ඊයේ බෙදී වෙන්වී පෙළපාලි යාම බාධාවක් නොවේ. මන්ද යත්, අවසාන වශයෙන් ඔවුන් දෙදෙනාම අයත් වන්නේ එකම පංතියට බැවිනි. එනම්, වැඩකරන ජනතාවග‍ේ පංතියට බැවිනි. කවියා ම්‍ෙ සහ‍ෝදරත්වය කවියට නඟන්න‍ේ ‍ම‍ෙස‍ේය.

'යළිත් අද නුඹ මා 
වැටිලා එකම මහ පාරට
අතුගානවා පාට රැළි ක‍ොළ
ඊය‍ේ ඉරී විසිරුන...'

ඔවුන් ද‍ෙදෙනා අද දව‍ස‍ේ එක් වී එකම මහ පාරම අතුගාන්න‍ේ ප‍ෙරදා ‍බ‍ෙදී වෙන්වී, පෙළපාලි ගියවුන් ‍වෙනුවෙන් අැදුණු පාට පාට කොළ ය. කවියා මේ අනුභූතිය ඔස්සේ වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන චිත්‍රය මතුකොට පෙන්වන්නේද කියාත් වරෙක සිතේ. විවිධ දේශපාලන පක්ෂවලට අයත් නායක කාරකාදීන්, ඔවුන් මැතිවරණ වේදිකා දෙදරවමින් කළ කී කතා අමතක කරමින් කිසිදු හිරිකිතයකින් තොරව, හැසිරෙන්නේ ලජ්ජා බයක් නොමැතිවය. කවියාගේ තියුණු උපහාසය මතුවන්නේ එ‍ස‍ේ ලජ්ජා බයක් නැතිව වැට‍ෙන්න‍ේ කුණු කරත්තය‍ේ පතුළට යැයි කී‍ම‍ෙනි.  එය ‍ක‍ෙතරම් අපූරුද කියා ඇසීම තුළත් ඇත්ත‍ේ එම උපහාසයයි.
‍ම‍ෙරට දේශපාලනය, ම‍‍‍ාරුව‍ෙන් මාරුවට පක්ෂ තුළ‍ දෝලනය වන්නකි. ම්‍ෙ කම්කරු සහ‍ෝදරයන් ද‍ෙද‍ෙන‍‍ාත් වරින්වර මාරු‍ව‍ෙන් මාරුවට ම්‍ෙ කුණු කරත්තය ඉදිරියට ග‍ෙන යාම සඳහා තල්ලුවක් ද‍ෙති.  එහ‍ෙත් තමන්ට කිසිදු සුගතියක් අත් න‍ොවන, ම්‍ෙ ව්‍යායාමය ක‍ෙළවර ද‍ෙද‍ෙනාටම දැන‍ෙන ප‍ොදු ත‍ෙහ‍ෙට්ටුව‍ෙන් මිද‍ෙනු වස් ඔවුන් ද‍ෙද‍ෙනාම සහ‍ෝදරත්වයෙන් සැනසීමක් සොයන්න‍ේ සූස්තියක් (ගංජා සුරුට්ටුවක්) ඇදීම‍ෙනි. එහිදී ඔවුන් ද‍ෙද‍ෙන‍‍ා‍ගේ ද‍ේශපාලනයේ පක්ෂ පාට ‍භ‍ේද මතු න‍ොව්‍ෙ. ද‍ෙද‍ෙන‍ා එක්ව අදින ගංජා‍ සුරුට්ටුව ග‍ෙන ද‍ෙන්න‍ේ අපූරු සුවයකි. ඔවුන් ‍ම‍ොහ‍ොතක ආශ්චර්යය ඒ තුළින් දකී. සූස්තිය මෙන්ම ප්ලේන්ටියද බොන්නේ ඒ ලෙසය. පෙට්ටි කඩේ පොතට ණයට ගත් ප්ලේන්ටිය දෙදෙනා මාරුවෙන් මාරුවට බොන්නේ දෙකට කඩා ගෙනය. ප්ලේන්ටිය දෙකට කඩාගෙන බොනවා යන්න ඔවුන් දෙදෙනාගේ සහෝදරත්වයේ සමීප බව, අවංක බව අපූරුවට කියාපාන යෙදුමකි. මෙවන් කම්කරු පංති අතර විරසකයක් හෝ විසංවාදයක් වේද? 

'දැනෙන කොට තෙහෙට්ටුව අැඟට
අදින්නේ ඒකම සූස්තිය 
බොන්නේ ඒකම ප්ලේන්ටිය
කඩාගෙන දෙකට...'

වැඩ කරන ජනතාව නියෝජනය කරන කොටස් අතර දකින්නට ලැබෙන විසංවාද, විරසක තාවකාලිකය.  කිසියම් පක්ෂයක සාමාජිකයකු වීම නිසා හෝ කිසියම් නායකයකුගේ අනුගාමිකයකු වීම නිසා ඔවුන් දෙපිලකට හෝ පිල් කිහිපයකට බෙදී සටන් වැදුනද ඔවුන්ට ළඟා කරගත යුතු අරමුණු ලෙස අැත්තේ පොදු අපේක්ෂාවකි. ජීවත්වීම සඳහා ශ්‍රමයට සරිලන වැටුපක්, තමන්ගේ දූ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වන වැඩපිළිවෙළක්, හිසට වහලක්, වියපත් වූ කල ජීවත්වීමය සෑහෙන විශ්‍රාම පාරිතෝෂිකයක්, වෙෙද්‍යධාර ලබාගැනීමේ පහසු මඟක් අාදී අරමුණු කුමන දේශපාලන දහමක් අදහන්නකු වුවද ඔහු වැඩකරන ජනතාව නියෝජනය කරන පංතියට අයත් නම් පාලකයින්ගෙන් අපේක්ෂිත පොදු අවශ්‍යතා වේ. දේශපාලන බෙදීම්, ඒදිරිවාදිකම් හමුවේ ඔවුන් සටන් වදිනා පොදු අරමුණු දිනාගැනීමේ සටන තුළ වුව, ඔවුන්ගේ ජීවිත හා බැඳී පවත්නා මානුෂීය සහෝදරත්ව සබඳතාව ඉස්මතු වනු අපි දකිමු. ඔවුන්ගේ අාමන්ත්‍රණයම ඊට අපූරු සාක්ෂ්‍යයකි.

'මචං
ඊයේ අපෙ හිතේ තිබුනත් කහට
මැකී ගිය හැටි පුදුමයි 
අද උදේ ඒළි වෙන කොට...'

වැඩකරන ජනතාවගේ දිනයේදී ඔවුන්ගේ සිත් අතර කිසියම් හෝ කහටක් වී නම් ඒය රෑ ගෙවී ඒළිවන කල මැකී ගොස් හමාරය. ඔහු පුදුමයට පත්වන්නේ ඒ නිසාය. රැයක් ගෙවී පහන් වන විරාමයකදී සියල්ල යළිත් පෙර තිබූ තත්ත්වයට පත් වී, ඔවුන් ඒකම පංතියේ සහෝදරයින් බවට පත්වීම, මේ කම්කරු සහෝදරත්වයට අත්‍යවශ්‍යම උදාර ගුණය බව පාඨක අපි පසක් කරගනිමු.

- බුද්ධදාස ගලප්පත්ති
'කවිමිහිර' - වටමඬල
'දිවයින' - 2015 ඔක්තෝබර් 15


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 

ර්තමාන ශ්‍රී ලංකාවේ තිබෙන කිසිදු අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකමක් අවශ්‍ය නොවන අතිශය සුඛාේපභෝගී, ලාභදායී රැකියාව නම් දේශපාලනයයි. මැරකමත්, වාචාලකමත්, පෙරේතකමත්, ලජ්ජා නැතිකමත් තිබේ නම් ශ්‍රී ලංකාවේ දේශපාලකයකු වීම පහසු කාර්යයකි. පොඩි ප්‍රශ්නයකට අැත්තේ මෑත කාලයේ උක්ත මජර සුදුසුකම් අැති උදවියගේ ප්‍රතිශතය ඉහළ යෑම නිසා මේ 'කදිම රැකියාවට' පොරකන ප්‍රමාණය ඒන්න ඒන්නම වැඩි වීමය. සිනමාව, වේදිකා නාට්‍ය, ටෙල‍ි නාට්‍ය, සංගීතය, ක්‍රීඩාව, විද්‍යුත් ජනමාධ්‍ය, හමුදා සේවය  අාදී ක්ෂේත්‍රයන්හි තම දස්කම් පෙන්වන අැතැම් උදවිය තමා අදාළ ක්ෂේත්‍රයේ දක්වන ප්‍රතිභාව ඉතාමත් උපායශීලී ලෙස දේශපාලනයේ අායෝජනය කර මනාප ගරා ගනිමින් ලජ්ජා නැති දේශපාලනයට ඒක් වීමට උත්සුක වෙති. අතීතයේ දේශපාලනය මහජන සේවයක් විය. පූර්ණකාලීන දේශපාලනයේ නියැළි අැතැම් මහජන නියෝජිතයින් මියගියේ තම බැංකු ගිණුමේ ශේෂය ලෙස ඉතා කුඩා නොවටිනා මුදලක් ඉතිරි කර තබමිනි. අැතැම් විට ඔවුන් දේශපාලනයට පිවිසියේ තම පාරම්පරික ධනය වැය කරමිනි. අද තත්ත්වය ඒසේ නොවේ. අද ඉන්න හිටින්නට තැනක් පවා නොමැතිව දේශපාලනයට ඒන ඒකා/ඒකී කාලයක් ගතවූ තැන මෙරට, පිටරට නිවාස, දේපොළ ව්‍යාපාර පමණක් නොව අමතර 'ස්ත්‍රී' හෝ 'පුරුෂ' ශරීර අයත් කර ගැනීමට තරම් 'පුණ්‍යවන්ත' වන්නේය.

මේ දේශපාලුවන් ගැන කදිමට කියැවෙන කවියක් නව පරපුරේ කවියකු වන ප්‍රභාත් චින්තක මීගොඩගේ ගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය වන 'භින්නෝන්මාදියාගේ රොමෑන්ටික් රාත්‍රිය' පොතෙහි 'රාජ සභා කවි' මැයෙන් අැතුළත්ව තිබේ.

බහුතරයක් ශ්‍රී ලාංකේය දේශපාලකයින්ගේ ජීවිත කුණු වී ගඳ ගසන තත්ත්වයේ පවතී. තම ජීවිතවල පවත්නා මෙම අප්‍රසන්න ස්වභාවය යටපත් කර ගැනීමට ඔවුන් උත්සාහ කරන්නේ සුදු පැහැ වස්ත්‍රයෙන් ගත සරසා ගැනීමෙනි. මෙකී දේශපාලකයින් මැති සබයට යැවීමට දරදිය අදින්නේ දුප්පත් පීඩිත  පන්තියේ ජනතාවය. දේශපාලුවන් රජකරවන්නට ඒ මගින් තම ජීවිතද තරමක් හෝ යහපත් තැනකට ගන්නට වෙහෙසෙන මෙම පීඩිත ජනතාව පිල්වලට බෙදී ගහ මරා ගන්නේ තම සැබෑ දේශපාලන සතුරා හඳුනා නොගනිමිනි. අවසන සිදු වන්නේ මෙම දුප්පතුන්ට යන ඒන මං නැති වීමයි.

' සුදු රෙදි පටින් කුණු වහගත් බොහො සත්තූ
රාජ සබෙන් ලොකු ලොකු තනතුරු ගත්තූ
උන් දිනවන්න තැන් තැන්වල අැන ගත්තූ
යන මං නැතිව අද ලතවෙති දුප්පත්තූ'

දේශපාලුවන් මනාප පොරයෙන් ජය ලබා මැති අැමති, අගමැති, ජනාධිපති මේ අාදී තනතුරු ලබමින් ඉහල නඟින කල්හි, ඔවුන්ගේ ගෙවල්වල සිටින භාර්යාවෝද ඒකී බලයේ අානුභාවයෙන් 'අාර්යාවන්' බවට ඉබේම පත්වෙති. ඉක්බිති මේ අාර්යාවෝ රන් මිණියෙන් තම ගත සරසාගෙන තම පුරුෂයින්ගේ බලය තමා වෙතද අාරූඪ කරගෙන සමාජය හමුවේ ගර්වයෙන් යුතුව හැසිරෙන්නට උත්සුක වෙති. සමාජයේ විවිධ පොදු හෝ පෞද්ගලික ස්ථානයන්හි තම අණසක පතුරුවමින් විශේෂ වරප්‍රසාද කඩා වඩා ගන්නට ඔවුහු සැරසෙති. 

'ඒ බොහො සතුන්ගේ නාඹර බවලත්තූ
අත රන් මිණි පය රන් මිණි බැඳ ගත්තූ
මූණු පුරා ගර්වය තවරා ගත්තූ
යනෙන යනෙන තැන බලවත්, බවලත්තූ'

දේශපාලුවන්ට පහළ වූ 'හතර මහ නිධානයෙන්' ඵල ප්‍රයෝජන ගන්නෝ ඔවුන්ගේ නීත්‍යනුකූල භාර්යාවෝ පමණක්ම නොවෙති. අධි පරිභෝජනය හේතුවෙන් තෙල් මන්ද මෝරන දේශපාලන කුළු මීමුන්ගේ ස්ත්‍රී මාංශ ලෝලීත්වය සන්තර්පණය කරන්නට ඒක් 'නීත්‍යනුකූල කාන්තා ශරීරයක්' පමණක් ප්‍රමාණවත් නොවනු විය හැක. ඒවිට සිදුවන්නේ 'අනියම් සැප' සොයා යාමය. මෙකී දේශපාලකයින්ට තම අැඟ මස පුදන අනියම් බවලත්තු තම ශරීර පහස දඩ මීමා කරගෙන ඒ් හරහා විවිධ වරප්‍රසාද - දොළ පිදේනි ලබා ගනිති. අැත්ත වශයෙන්ම සමහර ප්‍රකට දේශපාලන චරිත මෙහෙයවනු ලබන්නේ මෙවැනි 'අනියම් බවලතුන්' විසිනි.

'රෑට මසට අැති අනියම් බවලත්තූ
වැඩි වැඩියෙන් අනියම් සැප ලැබ ගත්තූ
මැති රන් කඳට දන් දී තැන තැන තොත්තූ
හිතෙන හිතෙන දේවල් සරි කර ගත්තූ'

උක්ත දේශපාලන මීහරකුන්ගේ පුත්‍ර නාම්බන්ගේ කෙරුවාව ඊටත් හපන්ය. තම පියාට කවර හාේ දේශපාලන පට්ටමක් ලැබීම මේ මීහරක් නාම්බන් සලකන්නේ තමන්ට, රාත්‍රී සමාජ ශාලාවල පිස්සු කෙළින්නට, ගුටි කෙළ ගන්නට, ගම්වල දුප්පත් තරුණියන්ට රැකියා ලබාදෙන බවට රවටා උන්ගේ විළිබිය සිඳලන්නට ලැබුණු නිදහස් බලපත්‍රයක් ලෙසටය. ඉතින් මුන් හැසිරෙන්නේ මද කිපි අැතුන් විලසිනි. 

'වාසනාව දෝතින් ගත් මැති පුත්තූ
අතට පයට පිරිවර සේනා ගත්තූ
මැදියම සරා මුව මී පුරවා ගත්තූ
හැසිරෙති විලස මහ වන මැද මද අැත්තූ'

ඉතින් මොනවායින් නැතත්, අප රට දේශපාලුවන්ගෙන් ස්වයංපෝෂිත වාසනාවන්ත රටකි. රට තම අම්මා අප්පාගේ බූදලය ලෙස වළඳන දේශපාලුවන්, උන්ගේ නියම්-අනියම් බිරියන්, පුත්‍ර නාම්බන්ගෙන් මේ රට ස්වයංපෝෂිතය. ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා විහිදෙන ලොකු කුඩා බූවලු අඬු මතින් රටම බදා සූරාකන ඊනියා ප්‍රජාතන්තරේ හැටි ස්වභාවය ඒපරිදිය.

'බොහො සත් අැමති - මැති සඳ වාසනාවන් !
අනියම් - නියම් බවලතු වාසනාවන් !
මද කිපි අැතුන් වැනි පුතු වාසනාවන් !
ජාතිත් අපේ මව්බිම වාසනාවන් !'

- පියන්කාරගේ බන්දුල ජයවීර
'සහෘදස්පන්දන'
'ජනරළ' ඉරිදා සංග්‍රහය - 2015 ඔක්තෝබර් 04



. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 


දේශපාලනික තරු ලකුණු මැද පහන් වන
'භින්නෝන්මාදියාගේ රොමෑන්ටික් රාත්‍රිය'


ඉසියුම්ම අාත්මීය සංවේදනාවන්ගෙන් කවිය උපදී. ඒමතු නොව, නිරන්තර සිදුවන දේශපාලන චලනයන් අැසුරින්ද කවිය උපදී. මානවීයත්වය කෙරෙහි වූ අපමණ ලාලාසාව අැසුරින්ද කවිය උපදී. කුමන පදනමකින් පැන නැගුණද කවියට නිශ්චිත කාර්යභාරයක් තිබේ. ඒ මිනිස් විෂයය ගවේෂණය කිරීමය. සමාජය නම් විෂයය ගවේෂණය කිරීමය. ඒකී ගවේෂණය අැසුරින් උපදින කිසියම් අාලෝකයක් වේ නම්, ඒය සමාජ ප්‍රගමණයේ දිශාවට ඒල්ල කිරීම කවියකුගේ සමාජ වගකීම බව පැහැදිලිය.

කවියක හොඳ නරක නිර්ණය කිරීමේදී සමාජ වගකීම පිළිබඳ කාරණය පසෙකට කළ නොහැක්කේ ඒ නිසාය. ඒහෙත් සමාජ වගකීම ගැබ්ව තිබූ පමණින්ම කවියක් සාර්ථක යැයි නිගමනය කරන්නට බැරිය. ඒය පැහැදිලිවම කාව්‍යාත්මක විය යුතුය. කාව්‍යාත්මක අාස්වාදයද රැකගනිමින්, සමාජ ප්‍රගමනය උදෙසා ලිවීම අභියෝගයකි. 'භින්නෝන්මාදියාගේ රොමෑන්ටික් රාත්‍රිය' කෙබඳු පන්නයේ අාස්වාදයක් පහළ කරන්නේ දැයි උරගා බැලිය යුත්තේද ඒකී අභියෝගය තුළ තබාය.

දේශපාලන චලනයන් අැසුරින්ද කවි උපදින බව අපි මුලින්ම සටහන් කෙළෙමු. කිසියම් දේශපාලන සවිඥානිකත්වයකින් හෙබි නිර්මාණකරුවකුට තමන් අවට සිදුවන දේශපාලන චලනයන් මඟහැර යා නොහැකිය. මඟහැර යාම කෙසේ වෙතත් ඔහු ඒවැනි චලනයන්ට නිරායාසයෙන්ම ප්‍රතිචාර දක්වන්නට පෙළඹේ. ඒවැනි විටෙක කවිය ඍජුවම දේශපාලනික ප්‍රකාශනයක ගුණය අත්කර ගන්නා අතර, පරෙස්සම් විය යුත්තේ කාව්‍යාත්මක බව නොබිඳ පවත්වා ගැනීම කෙරෙහිය. ඒය දැලි පිහියෙන් කිරි කෑමකි. අවදානම නිසාම අවධානය සියුම් වන අතර, ඒකී සියුම් බව විසින් කවිය කිසියම් ගුණාත්මක තලයකට ඔසොවා තබනු ලබයි. ඒබඳු දේශපාලනික කවි කිහිපයක් අතර මේ කවිය මෙහි සටහන් කළ යුතුම යැයි සිතේ.


'' මැයි  02 වන දා කවියක් හෙවත් 
කම්කරුවකුගේ විසංවාදී සිතිවිලි



ගියේ ඊයෙ අපි පෙළපාලි

එක එක පාට කොඩි යට

පැතුවේ ජයයි

එක එක උතුමන්ට



යළිත් අද නුඹ මා 

වැටිලා ඒකම මහ පාරට

අතුගානවා පාට රැළි කොළ 

ඊයේ ඉරී විසිරුන



හිස් උඩින් ඊයේ වෙන් වෙන්ව ලෙළදුන්

එක එක පාට රැළි කාෙළ

ලජ්ජා බයක් නැතිවම

එකින් එක පැටලී වැටෙන කොට

අද කුණු කරත්තේ පතුළට...

බලාපං.... කොච්චර අපූරුද?



ඉතිං අපි මාරුවෙන් මාරුවට 

කුණු කරත්තෙත් තල්ලු කරගෙන 

අැවිදගෙන යන කොට පෙරට

දැනෙන කොට තෙහෙට්ටුව අැඟට

අදින්නේ එකම සූස්තිය

මොහොතක අාශ්චර්යයක් දකිනට

බොන්නේ එකම ප්ලේන්ටිය

කඩාගෙන දෙකට

(ඒකත් පෙට්ටි කඩේ පොතට...!)



මචං...

ඊයේ අපෙ හිතේ  තිබුනත් කහට

මැකී ගිය හැටි පුදුමයි
අද උදේ එළි වෙනකොට...! "

නිදහසින් ඉක්බිති ගෙවුනු හැටහත් වසරකට වැඩි කාලය මුළුල්ලේ අපේ රට අනුදත් තට්ටුමාරු ක්‍රමය කෙරෙහි නිර්දය විවේචනය ප්‍රභාත් විසින් අපූරුවටත් සංක්ෂිප්තවත් ගොනු කරනු ලබන්නේ මෙලෙසිනි.

 ''ඉතිං අපි මාරුවෙන් මාරුවට 

කුණු කරත්තෙත් තල්ලු කරගෙන''

තට්ටු මාරුව විවේචනය කරද්දී නිර්දය අාස්ථානයක් ගන්නා කවියා, ඒකී තට්ටු මාරුවට ස්වකැමැත්තෙන් ගොදුරු වුණු පීඩිත පන්තිය දෙස හෙළන්නේ මනාව දයාවෙන් පිරීගිය බැල්මකි. 

විරෝධයත්, දයාවත් ඒකම කවියක් තුළ ගොනු කරන ප්‍රභාත්, අනවශ්‍ය අාවේගශීලීත්වයට අැද වැටෙන්නේද නැත. දේශපාලනික තේමා සිය කවියේ අනුභූතීන් ලෙසින් පරිහරණය කරන්නේ නම් නිසැකවම ඒකී සංයමය රැක ගත යුතු අතර, 'ඒ නුඹේ පාසලයි', 'පිටකොටුවේ බෝ ගස නොකී කවිය', 'කකුළුවාගේ අැරයුම හෙවත් නව බක ජාතකය', 'මාතලේ තේරවිල්ල' වැනි ඍජුවම දේශපාලනික යැයි හැඟෙන තේමාවන්හිදී පවා ඒකී කාව්‍යමය ශික්ෂණය රැක ගැනීම අගය කළ යුතුමය.

ද‍ේශපාලනික තේමා ස්පර්ශ කරන්නට යාමේදී සටන් පාඨ ලියැවීමත් ප්‍රචාරකවාදයට නතු වීමත් සුලභව සිදු වුවත් දක්ෂ කවියකුට ඒබඳු බොරු වලවල්වල නොවැටී සිටින්නට හැකි වනු අැත්තේ කාව්‍ය ව්‍යාකරණ පිළිබඳ ප්‍රාමාණික දැනුමෙන් සන්නද්ධ වීමෙනි. 'මේ බුදුන්ගේ දේශයයි' නමින් යුත් කවිය තුළින්ද පළවන්නේ ප්‍රභාත් සතුව අැති ඒකී කාව්‍යමය ශක්‍යතාවයි. ප්‍රගතිශීලී දේශපාලන නැඹුරුවක් සහිත සමාජ ජීවියකුට මේ යුගයේ දරාගැනීමට අසීරුතම යමක් වේ නම් ඒ ජාතිවාදයයි. අාගම්වාදයයි. 

විශේෂධයෙන්ම සමාජ ප්‍රගමනයේ නූතනවාදී ඉදිරි පිම්මක් අපෙක්ෂා කරන කවියකුට මෙකී අාගම්වාදී, ජාතිවාදී ප්‍රවණතා පෙනී යනු අැත්තේ ම්ලේච්ඡත්වය කරා ස්වකැමැත්තෙන් පල්ලම් බැසීමක් ලෙසිනි. කූප්පනසුලු ඒබඳු ප්‍රස්තුතයකදී පවා ප්‍රභාත් සිය කාව්‍යමය ශික්ෂණය අාරක්ෂා කරගන්නේ මෙලෙසිනි.

''මේ බුදුන්ගේ දේශයයි
උප මාතෘකාව - අඩෝ අපි බෞද්ධ

ඉරා කීතු කොට ත්‍රිපිටකය
ගිනි ලා සම්බුදු සිරසට
රන් රුවන් කරඬු සොයමින
පලා ශ්‍රී දේහය සත් කඩට

දර්ශනය වසුරු ලා වනසාන
නෙක රූප තිර මත රඟපාන
ධම්ම  පදයෙන් පිටුවක් ඉරාගෙන 
හීනියට ඔතා කන කිති කවන

සුවාසූ දහස් ධර්ම ස්කන්ධය
කිරා මැන විකුණන මහිම
රහසේම වදාරා කම්සුතුර
චීවරය මත අවළ කෙළි කෙළින

ක්ලේශයන් නිරතුරුව පොදි බඳින 
සූදුවෙන් බොදු සසුන බබළවන
උභය කුල පාරිශුද්ධ
අඩෝ අපි බෞද්ධ ! ''

අාවේගශීලී යැයි බැලූ බැල්මට පෙනෙන භාෂා භාවිතයක් තුළ පවා කවියකු විසින් අනුදත යුතු සීමාව කුමක්දැයි, ප්‍රභාත් තීන්දු කරන්නේ සමස්ත අත්දැකීම උත්ප්‍රාසය තුළ ගිල්වා ලමිනි. ඒකී උත්ප්‍රාසයම ඉවහල් කොට ගනිමින් රචිත 'ඒ අරුම පුරවර', 'නිවෙන සඳකඩ පහණ', 'ස්වර්ගීය සිරගෙයක්' වැනි කාව්‍ය නිර්මාණයන්ද සහෘදයා කිසියම් අාකාරයක දේශපාලනික සිතීමකට යොමු කරන බව පැහැදිලිය.

වැදගත්ම දේ නම් 'භින්නෝන්මාදියාගේ රොමෑන්ටික් රාත්‍රියේදී' අපට හමු වන්නේ ඒකී මහේක්ෂ දේශපාලනික ප්‍රස්තුත පමණක්ම නොවීමය. භින්නෝන්මාදියාගේ රාත්‍රියේ වඩාත් කාව්‍යාත්මකව දිදුළන්නේ ඒකී ක්ෂුද්‍ර දේශපාලනය අැසුරින් නිපන් ප්‍රස්තුතයන්ය. 'කුළී ගස්', 'පටුමගක හමු වූ දෙදෙනෙක්', 'පරාරෝපිත ලිපිකරුවාගේ අාත්මීය කවිය' ඒබඳු කවි කිහිපයකි.

සමාජයීය වෙනසක් පිළිබඳ විප්ලවීය අපේක්ෂා සහිත පොතක ඒකී අපේක්ෂාවන්ගේ බරින් ඉසියුම් මානවීය බැඳීම් ගිලා බසින්නේ නැත. 'බත් මුලේ කෙස් ගස' ඒබඳු බැඳීම් පිළිබඳ අප තුළ දයාව අවුලුවා ලයි.

'කන්තෝරුවේ 
වරුවක් වෙහෙසව 
බත් මුල දිග හරින සඳ
සුදු පැහැති කෙස් ගසක් 
බත් මාලු පිණි අතර

බත් මුලේ සුවඳ පරදාගෙන 
මව් සෙනෙහසේ සුවඳ
වහනය වේය මසිතට
ඒ වියපත් කෙස් ගසින්...

මහන්සිද පොඩි පුතේ 
කාලා ඉඳිං බත් ටික
කීය ඒ කෙස් ගස 
මා හට සෙනෙහසින් '

විප්ලවයත් ප්‍රේමයත් සිය ගමනෙහි යෙදෙන්නේ මාවත් දෙකක නොවේ. විප්ලවයේ අත න‍ොහැරිය යුතුම ගමන් සගයා ප්‍රේමයයි. ඉතින් ප්‍රභාත්ටද ප්‍රේමය අත හැරෙන්නට හේතු නැත. 'නොපළ කව හෙවත් අහිමි පෙම', 'සිපිරි හද' වැනි කාව්‍ය නිර්මාණවලදී මෝරා වැඩී නොගිය කවීත්වයක්, 'පිංගුත්තර උදුම්බරාට නොකී කවිය' වැනි කවියකදී ප්‍රභාත් අපට මුණ ගස්වයි. ප්‍රේමයද අනෙක් සියලු ප්‍රපංච මෙන්ම හිසට ඉහළින් දෙදුනු අවකාශයක ළඹ දෙනවා නොව, මහ පොළාෙවේම පවතින යථාර්ථයකි. ඒනිසාම පවතින සමාජ අාර්ථික කොන්දේසි අැසුරින් මිස ප්‍රේමයේ ඉරණම තීන්දු කරන වෙනත් දිව්‍යමය බලවේගයක් කොයින්ද?

'දක්ෂතම ශිෂ්‍යයා වග සැබැවි පෙර දවස
සිරිතටම නුඹ ලැබිණ කිසි විටෙක නොසිතු ලෙස

උපාධිය කලා විණ රැකියාද නැති සඳින 
රැකියාව සොය සොයා මඟට බැස යා යුතුය

ඒදුක් පිරිපත මැදට කෙසේ නුඹ ගෙනයම්ද
සිහිනෙනුදු නොසිතන්න නෂ්ටකාමියකු ලෙස

නොඉඳුල්ව තබන්නෙමි නුඹෙ රුසිරු තුනු සිරුර
අන් උපාධිධරයකුට පිය බිරිය වනු පිණිස

මහ මඟෙක පෝලිමක මා දුටුවහොත් දිනෙක
යනු මැනවි නැගනියනි නාඳුනන්නියක ලෙස !'

කවිය විසින් මතු කෙරෙන උපේක්ෂාව පෙරළා, අප තුළ කිසියම් අාවේගයක්ද නිර්මාණය කරයි. ඒ අසීමාන්තික සෙනෙහසම අාත්මය කරගත් අන්‍යේන්‍ය බැඳීමකට වුව, ඒදිරිව නැඟෙන පසුගාමී ධනේශ්වර ක්‍රමයට ඒරෙහි අාවේගයයි. ක්‍රම විරෝධී මිනිසුන් නිර්මාණය කිරීමේදී කවිය සතුවද තියුණුම කාර්යභාරයක් අැති බව ප්‍රභාත් හඳුනාගෙන සිටී. සිත් ගන්නා සුලු නිරීක්ෂණය නම් ඒම කාර්යභාරයේදී ඔහු කවිය දාර්ශනික අාස්ථානයන්හිද ස්ථානගත කිරීමයි. 'පියයුරක් තනිව', 'වාමනයා සහ සිඟන්නිය' සියුම් කාව්‍ය සංකල්පනා අැසුරින් ජීවිතය විනිවිද දකින්නට ගත් ප්‍රයත්නයන්ය. ඒකී ප්‍රයත්න අැසුරින් උපද්දවන අනුවේදනීය බව ජීවිතය කෙරෙහි දාර්ශනික කියවීමකට යන්නට සහෘදයකුට උත්ප්‍රේරක සපයයි.

' වාමනයා සහ සිඟන්නිය

බලාගෙන හුන්නෙමි 
අැසි පිය නොහෙළාම 
ස්ත්‍රියක් මා තුරුළට ඒන 
දවසක් ගැන 
දෑඟිලි ගැන ගැන

ඒත් අපි ඉතිං 
අැස් මට්ටමට හසු නොවන 
මානයක වෙසෙමින 
සියලු බර දරාගෙන 
දහඩිය කඳුළු වගුරන 
ගොරහැඩි වාමනයෝ වම්හ

ඒත් ඒක දවසක 
නුඹ අැවිත් මා අසල හිඳ 
මා ගතට තුරුළුව 
සිඟමන් යදින සඳ

මා ගත දැවටෙන 
නුඹේ දුර්වර්ණ කඩමලු 
මට සොඳුරු පහසකිය
නුඹ වෙතින් හමා ඒන්නේ
හැමදාම දැනුණු මල් සුවඳ පරදන 
ජීවිතේ මට දැනුණු 
ඉමිහිරිම සුවඳය

ඒදා සිට ඉසිලූ 
මේ තුඟු පවුරුවල බර 
දැන් බරක් නොවේ මට

නුඹගේ ගත පහස 
දැනේ ඊට වඩා බරට 
මසිතට !'

අපේ අතීත රැඩිකල් කවියන් දාර්ශනික ගල් ගුහාවලට වැදී තමන්ගේ පාඩුවේ සිටිනා කාලයක තරුණ කවියෝ දර්ශනයද රැගෙන සමාජයට ඒළඹෙති. මන්දයත්, සියලු දර්ශන අවශ්‍ය වන්නේ සමාජ ප්‍රගමනයට වන බැවිනි. 

1990 දශකයේ අග භාගයේ දිනෙක, අහම්බෙන් පත්තර තට්ටුවක තිබී 'සිතිජය' නම් සඟරාව මගේ අැස ගැටිණි. ඒය දේශපාලනිකව සිතන්නට ඒකල ගැටවර වියේ සිටි අපව පෙළඹවූ අතර, ඒහි කවි පිටුව අප බොහෝ දෙනකුගේ වේදිකාව විය. ප්‍රභාත්ද මට මතක තිබෙන්නේ ඒ වේදිකාවේ පෙළහර පෑ කවියකු වශයෙනි. ඒ යුගයේ කවි ලියූ බොහෝ ගැටවර කවීන්ට විප්ලවය පිළිබඳ  නොසිඳුණු විශ්වාසයක් විය. ඒහෙත් අප විශ්වාසය තබා සිටි සමාජ ව්‍යාපාර අැස් පනා පිටම 'ජෝක්' වී ගියේය. ඒය අපේ හදවත් කිසියම් කාන්සියකින් අාතුර කරන ලදී. ඒකී කාන්සිය ප්‍රභාත්ගේද අැතැම් කවිවලින් වහනය වේ. 'මල් වඩම් අනවශ්‍යයි' යනුවෙන් ප්‍රභාත් ලියන්නේද ඒබඳු කවියකි. ඒහෙත් වැදගත්ම දේ නම්, අතිශය අසීරු සමයන්හිදී පවා නිවැරදි දේශපාලනික සවිඥානිකත්වයකින් යුතු වීමයි. පසුගාමීත්වයට ඒරෙහි ධෙෙර්යයෙන් නැවැත නැවතත් පණ පෙවීමයි. යුගයේ වෙනත් කවීන්ට සාපේක්ෂව ප්‍රභාත් නොබියව විප්ලවය පිළිබඳ පරමාදර්ශී සිහිනය කවියට අභිමුඛ කරයි.

'දහස්ව‍ර පයින් මැඩ 
තලා පාගා දැමූවද 
පෙති දෙපෙති  ලා 
නැඟී ඒමි

බිම වට පැරණි තුරුපත් 
වැනිය වැරදුණු තැන් 
අතට ගෙන සැතින් සිඳ 
අංශූන් තෙක් හදාරමි'

නොවරදින සුලු සමාජ ව්‍යාපාර ලොව කොතැනකවත් බිහිව නැත. යළි යළිත් නිවැරදි වෙමින් යා යුතු ගමනක් පිළිබඳ ප්‍රභාත්ගේ කවිය අපට ඉඟි සපයයි. ඒ ගමනේදී ප්‍රභාත්ගේ කවි පැනසර සහන් ඒළියක්ම වනු අැත. මන්දයත් පරිපූර්ණත්වයට ළඟා වෙමින් සිටින කවීත්වයකින් සහ නිවැරදි දේශපාලන දැක්මකින් ඔහුගේ කවිය සමන්විත වී අැති බැවිනි.



- නලින්ද සංජීව ලියනගේ
'ජනරළ' - 2015 සැප්තැම්බර් 27



No comments:

Post a Comment