ප‍ොත් පත්

දයාසේන ගුණසිංහ : තීරු රචනා විමර්ශන

දයාසේන ගුණසිංහ මහතා මෙරට සිටි අදීන, එමෙන්ම නිර්මාණශීලී පුවත්පත්කලාවේදියෙකි. තීරු රචකයෙකි. සාහිත්‍ය නිර්මාණකරුවෙකි. එහෙත් ලාංකේය පුවත්පත්කලා හා සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඔහු පිළිබඳව අැත්තේ කුමක්දෝ බරපතළ නිහැඬියාවකි. ගුණසිංහයන් මෙරට පුවත්පත්කලාව තුළ ද, සාහිත්‍ය නිර්මාණකරණය තුළද සටහන් කළ ඔහුගේ සුලකුණ ඒ නිහැඬියාව විසින් අකාරුණික ලෙස වල දමා තිබෙන සේය.
 'දයාසේන ගුණසිංහ : තීරු රචනා විමර්ශන' නමැති මෙම පර්යේෂණ ග්‍රන්ථය සිංහල තීරු රචනා කලාවේ ඔහුගේ සුලකුණ සොයා කළ ගවේෂණයකි. පුවත්පත්කලාවේදීන්ටද, තීරු රචකයින්ටද, සාහිත්‍ය නිර්මාණකරුවන්ටද, ජනසන්නිවේදනය හා පුවත්පත්කලාව හදාරන විද්‍යාර්ථීන්ටද සප්‍රයෝජනවත් කාරණා රැසක් අන්තර්ගත මෙම ග්‍රන්ථය, කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ පරීක්ෂණය සඳහා ඉදිරිපත් කෙරුණු නිබන්ධය අැසුරෙන් සම්පාදනය කරන ලදී.

විචාර - ප්‍රතිචාර



''දයාසේන ගුණසිංහ : තීරු රචනා විමර්ශනය''
ඔහුගේ ආමන්ත්‍රණය කුමක්ද?



සාමාන්‍යයෙන් පුවත්පත් තීරු ලිපි රචකයන් සතියේ තීරුව සඳහා භාවිත කරන්නේ ආසන්න දින කිහිපය තුළ වඩාත්ම කතාබහට ලක් වූ මාතෘකාවකි. අවශ්‍ය නම් සතියේ ප්‍රධානම ප්‍රවෘත්තිය සූක්ෂ්මව මඟ හැර යන්නටද පුළුවන. ප්‍රධාන ප්‍රවෘත්තිය මගින් ආණ්ඩු පක්ෂයේ නායකයා විවේචනය වන නිසා ඊට මෙහා ඇති ප්‍රවෘත්තියක් තෝරාගැනීම වර්තමානයේ තීරු ලිපි තුළින් අපට දක්නට ලැබෙන ස්වභාවයකි. එවිට විවේචනය වන්නේ විපක්ෂ නායකයා හෝ වෙනත් අවශේෂ පුද්ගලයෙකි.


'දයාසේන ගුණසිංහ තීරු රචනා විමර්ශන' නමින් කෘතියක් මෑතකදී පළ විය. එහි කතුවරයා වන්නේ ප්‍රභාත් චින්තක මීගොඩගේය. වර්තමාන තීරු ලිපි රචකයින් ක්ෂණිකව සිහියට නැඟුණේ දයාසේන ගුණසිංහ ගැන ලියූ මෙම කෘතිය ගැන සටහනක් ලියන්නට කල්පනා කරමින් සිටින විටදීය. සැබැවින්ම තීරු රචකයාට තමන් ඉදිරියේ ඇති මූලික ප්‍රශ්නය මඟ හැර යා නොහැකිය. දයාසේන ගුණසිංහ එසේ තමන්ට අභිමුඛ වන මූලික ප්‍රශ්නය හැර නොගියේය. රයිගම්රාළ, උකුස්සා, සී‍යාගේ කොලම, රණරාළ, භූත රිපෝටර්, හෙනහුරාගේ කොලම, අංකුරාගේ කැලෑසිය, සංගුරාගේ සංවාද වැනි විශිෂ්ට ගණයේ තීරු ලිපි හරහා හෙතෙම හැම විටම කේන්ද්‍රගත වූයේ තමන් අභිමුඛ ප්‍රශ්නය වෙතටය. එහෙත් වර්තමානය තුළ අප තීරු රචකයින් තුළින් වැඩි වශයෙන්ම දකින්නේ මූලික ප්‍රශ්නය හැර යාමේ ස්වයං කැමැත්තයි. ගුණසිංහ එසේ නොවේ. සිය කැමැත්තෙන් විවෘත බිමකට පැමිණ වෘත්තීය මට්ටමින් අභියෝග කිරීම ඔහුගේ අරගල ප්‍රතිපත්තියයි. වෘත්තීය මට්ටමින් කරන අභියෝගයට චුදිතයෝ බිය වෙති. එහෙයින් ගුණසිංහගේ සටන්කාමී ලෝකයට කැට කැබිලිති වීසි කළා විනා විවෘත භූමිය තුළදී ඔහුට අභියෝග කළ කෙනෙක් නම් නොවීය.

පුවත්පත් තීරු ලිපි මුල් කාලීනව ප්‍රධාන ලිපි පළ වීමෙන් පසු ඉතිරි කුඩා ඉඩ කඩ පිරවීමට ගත් ලේඛන විශේෂයක් වුවත් පසු කාලය වන විට එය පුවත්පතක දර්ශනය එළි දක්වන්නට පවා උපස්ථම්භක වන ප්‍රධාන අවියක් බවට පත් විය. ගුණසිංහ යනු ඒ ක්‍රියාවලියෙහි අනලස්ව නිරත වූවෙකි. පුවත්පත් තීරු ලිපි රචනා කිරීම යනු වගකිව යුතු කර්තවයයකි. ඒ සඳහා පුවත්පත් කලාවේ ප්‍රවීණත්වයක්, නිර්මාණශීලී ලේඛන ප්‍රතිභාවක් හා මැදහත් නිරීක්ෂණයක් තීරු රචකයා සතු විය යුතුය. ගුණසිංහ ලියුවේ ඒ සියලු ගුණාංග පෙරදැරි කරගත් අදීනත්වයක් සමගිනි.

''අපි හුඟ දෙනෙකුට රකින්න පරපුරු තියෙනවා සීයේ. ඒත් කරන්න රස්සාවල් නැහැ.'' (සීයාගේ කොලම)

'සීයාගේ කොලම' යනු ගුණසිංහ දිවයින ඉරිදා සංග්‍රහය වෙනුවෙන් රචනා කරන ලද විශිෂ්ට තීරු ලිපියකි. සීයා සමග මාර පුත්‍රයා, ඩගී, සෝමේ, හැට්ටරයා වැනි තරුණයන් කරන සංවාදය ඔස්සේ ගොඩනඟා ඇති මෙම තීරු ලිපිය බොහෝ විට අවසන් කරනුයේ මාර පුත්‍රයාගේ අදහස් දැක්වීමකිනි. එම අදහස් දැක්වීම ක්‍රම විරෝධය පදනම් කරගන්නා අතර, සීයා එම අදහසට ගාමක බලය සපයන සංරචකය ලෙස ක්‍රියාකරයි. හැම විටම මෙම අවසානය නිර්භීතව කරන විවේචනයකින් සමන්විතය. මාර පුත්‍රයා මගින් ගතානුගතිකත්වය පිටු දකින නූතන පරම්පරාවේ අභිලාෂය ප්‍රතීයමාන කෙරේ.

ගුණසිංහ මෙම තීරු ලිපි සඳහා නගරයේ මෙන්ම ප්‍රාදේශීය උප භාෂාවන්හි බහුලව භාවිත යෙදුම් බොහෝ විට උපයුක්ත කොට ගෙන තිබේ. ඒ සමග පුර වහර උචිත තන්හි අනායාසයෙන් යොදන ඔහු ලංකාවේ මෙන්ම බටහිර සම්භාව්‍ය සාහිත්‍යයද තීරු ලිපි සඳහා සමෝසමේ භාවිත කළේය. ඒ සමගම වෙනත් කිසිදු තීරු ලිපි රචකයකුට කළ නොහැකි වූ විස්කමක්ද හෙතෙම කළේය. එය නම් ශෛලීන් කිහිපයකින් තීරු ලිපි රචනා කිරීමය. උකුස්සා, භූත රිපෝටර් ගවේෂණාත්මක තොරතුරු සොයා යාමේ ශෛලියකින් රචනා කරන විට සියාගේ කොලම, අංකුරාගේ කැලෑසිය වැනි රචනාවලට පාදක වූයේ ප්‍රබල සංවාදමය ශෛලියකි. එසේම රණරාළ, සංගුරාගේ සංවාද වෙනත් හැඩතල ගත්තේය.

''ජීවිතයේ මූලික පහසුකම් පවා නොලද සිය දහස් ගණන් මිනිසුන්ගෙන් සූරාගන්නා මුදලින් පිස්සු නැටූ තවත් බොහෝ උන්නැහේලා මට මෙහිදී හමුවෙති. මාරයාගෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීමට කිසිදු අවියකට, මෙවලමකට හෝ බොඩිගාඩ් කෙනෙකුට නොහැකි විය. එබැව්න් මිනිස් ලෝකයේ වෙසෙන රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් අද ළං කරගත යුතුව ඇත්තේ බොඩිගාඩ්ලා නොව ආත්මගාඩ්ලා බව මගේ වැටහීමයි.'' (භූත රිපෝටර්)

ගුණසිංහ මෙම කොලම ලියා ඇත්තේ ඩොලර් දස ලක්ෂයක් වැය කොට ප්‍රභූවරයකුගේ ආරක්ෂාව පතා දොර හයේ අති නවීන‍ මෝටර් රථයක් ආනයනය කිරීම පාදක කරගෙනය. අවසානයේදී ඉබි කටුවක තරම්වත් ආරක්ෂාවක් මෙම රිය තුළ තිබිය නොහැකි බව පවසන ගුණසිංහ, එකී නාස්තිකාරී පිළිවෙත නිබයව විවේචනය කරයි. වර්තමානයෙ‍්දී නම් අප දකින්නේ ජනාධිපතිවරයා, ඔහුගේ පුත්‍රයා හෝ සහෝදරයකු අමනාප වෙයි කියන බය නිසා දොරවල් හයේ නොව දහ අටේ ඇස්ටන් මාටින් රථයක් ගෙනාවත් ඒක මඟහැර ‍ගොස් කනිපින්දම් ගැසූ තීරු රචනාවන්ය. කොළඹ පාරවල් වසා අධික මුදලක් වැය කොට හමුදාවද යොදවා කරන රාත්‍රී මෝටර් රථ තරග දැක්කා හෝ නොදැක්කා සේ ‍රනිල්ගේ මොකක් හෝ ලිංග ප්‍රශ්නයක් මාතෘකා කරගෙන ජනාධිපතිටත් කිති කවා මහජනයාගේ කිරිපල්ලට අනින තීරු රචනා නම් මෙදා වැහි වැහිලාය. සැබැවින්ම ජනපති එන්න කියන විට ගොස් මහජනයාගේ ජීවිතවලට අදාළ කිසිම ප්‍රශ්නයක් නොවිමසා, දෙන පැටිස් රෝල්ස් කා හිනා වෙවී සිට එන මහ පත්තරකාරයන්ට ගුණසිංහ 70,80 හා 90 දශකවල සිට ඔහුගේ තීරු ලිපිවලින් කර්කශ අභියෝගයක් එල්ල කරයි.

ගුණසිංහ වැනි බොහෝ දෙනෙකුට විවිධ කාල පරාසවල සිදු වූයේ හුදෙකලා  වීරයින් ලෙස ලිපිවලින් කරන සටන පත්තර අයිතිකාරයින් ඉඩ දෙන තුරු ඉදිරියට ගෙනයෑමටය. බී.ඒ.සිරිවර්ධනද එක් යුගයක එම අත්දැකීමට මුහුණ පෑවේය. ඔවුන් සමග ගමන් කරන සමාජ ව්‍යාපාරයක් හෝ බලවේගයක් නැතිකම  විසින් මේ මිනිසුන් හැමදාම තනිකර දමන ලදී. ඉදිරියටත් එහි වෙනසක් නැති බව පෙනේ. ගුණසිංහ ඇමතූ පාඨක සමාජයට සිදු වූයේ කුමක්ද යන්න විමසා බැලිය යුතු වැදගත් කාරණයකි. ඊට සමගාමීව අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ ගුණසිංහ නිර්මාණය කළ මාර පුත්‍රයා කේන්ද්‍රීය චරිත සමූහය මුහුණ පෑ ඛේදවාචකයයි. ඒ අතරින් ඇතැම්හු සිය විරෝධාකල්ප සමාජ මැදිහත්වීම හරහා මරණීය අවසානයකට මුහුණ දුන්හ. මාර පුත්‍රයාගේ ඉතිරි වූ සගයෝ පසුකාලීනව ජාතිවාදය ළඟ නතර වූහ. ගුණසිංහ පත්තරකාරයකු ලෙසම මියගියේය. ඔහු විවරණය කර පෙන්වන්නට තැත් කළ සමාජ ඛේදවාචකය තවත් වර්ධනය වූයේය. දූෂණය සහ ඥාති සංග්‍රහය අලුත් වටයකින් ඇරඹුණි. නූතන තාක්ෂණය හා නව ලිබරල්වාදය සමග අලුත් මුහුණුවරක භූ දේශපාලන ප්‍රශ්න ගණනාවක්ද මතු වී තිබේ. ගුණසිංහ ආමන්ත්‍රණය කළ පරපුර සමහරවිට මේ ප්‍රශ්න තේරුම්ගත නොහැකි වීමේ ගැටලුවකටද මුහුණ පා සිටී. ගුණසිංහ නිර්මාණය කළ මාර පුත්‍රයා, ඩගී, හැට්ටරයා හා සෝමේ වැන්නන්ගේ ඡායා මාත්‍රයන්ට අද අලුත් එල්ලයක් අවශ්‍ය වන්නේ එබැවිනි.

- විමලනාත් වීරරත්න
රාවය - 2012 ජනවාරි 08
 




සිකුරාදා හැන්දෑව



 

සිංහල තීරු ලිපි රචනා කලාවට තිබෙන්නේ අවුරුදු සීයකට වැඩි ඉතිහාසයක්. එහි ආරම්භය හා ඓතිහාසික විකාශනය පිළිබඳව අගනා විවරණයක්, කිත්සිරි නිමල්ශාන්ත ලියූ 'සිංහල පුවත්පත් තීරු‍ ලිපියේ විකාශනය හා සන්නිවේදනය' කියන පොතට ඇතුළත් වෙනවා.



මෙවර තීරු ලිපි රචනා කලාව අළලා යමක් ලියන්න මා අදහස් කළේ පසුගිය දිනෙක තැපෑලෙන් මට එවා තිබූ, මා පෞද්ගලිකව නොහඳුනන ලේඛකයකු ලියූ එක්තරා පොතක් නිසයි. ලේඛකයා ප්‍රභාත් චින්තක මීගොඩගේ. පොත 'දයාසේන ගුණසිංහ : තීරු රචනා විමර්ශන'. පොතේ නමින්ම ‍ඔබට තේරුම්ගන්න පුළුවන්, පොත මොනවගේ එකක්ද කියලා.



මගේ දෘෂ්ටි කෝණයට අනුව මෑත දශක තුන හතර තුළ අපේ රටේ බිහිවුණු ඉතා වැදගත් පුවත්පත් තීරු ලිපි රචකයන් පස් දෙනෙක් ඉන්නවා. එනම්, දයාසේන ගුණසිංහ, කරුණාදාස සූරියාරච්චි, සුනිල් මාධව ප්‍රේමතිලක, සුන්දර නිහතමානි ද මැල් සහ තිඹිරියාගම බණ්ඩාර ය. මෙහිදී මා 'වැදගත්' කියන විශේෂණ පදයෙන් ඔවුන් හඳුන්වන්නේ මූලික වශයෙන් කාරණා දෙකක් පදනම් කරගෙන. එකක්, ඔවුන්ගේ තීරු ලිපි ජනමතය කෙරෙහි ඇති කළ ප්‍රබල බලපෑම. අනික, තීරු ලිපිය සාහිත්‍යයක් ලෙස වර්ධනය කිරීම.



මේ ඉහත සඳහන් කළ තීරු ලිපි රචකයින් පස් දෙනාගෙන් විශිෂ්ටතම තීරු ලිපි රචකයා 'දයාසේන ගුණසිංහයන්' බවට විවාදයක් තියෙන්න විදියක් නැහැ. ඒ බව සෙසු තීරු ලිපි රචකයින් සිව් දෙනා වුනත් ඒකමතිකව පිළිගනීවි කියා මා හිතනවා.



ප්‍රභාත්ගේ පොතට අනුව, ගුණසිංහයන් තීරු රචනා 11ක් විවිධ පුවත්පත් සඳහා ලියා තිබෙනවා. ඒ මෙපරිද්දෙන්.



රයිගම්රාළ - සිළුමිණ, දිවයින ඉරිදා සංග්‍රහය

සීයගෙ කොලම - දිවයින ඉරිදා සංග්‍රහය

උකුස්සා - දිවයින ඉරිදා සංග්‍රහය

භූත රිපෝටර් - දිවයින ඉරිදා සංග්‍රහය

හලෝ හලෝ - දිවයින ඉරිදා සංග්‍රහය

රණරාළ - ඉරිදා ලංකාදීප

සකල කොලම - ලක්දිව

හෙනහුරාගේ කොලම - ලක්දිව

අංකූරාගේ කැලෑසිය - හිරු

මට හිතෙන හැටි - සිව්දෙස

සංගුරාගේ සංවාද - සිළුමිණ



පුවත්පත් තීරු රචනා විවිධාකාරයි. විෂය ක‍්ෂේත්‍රය හා ශෛලිය අනුව ඒවා නොයෙක් වර්ගීකරණයන්ට හසු කරන්න පුළුවන්. ප්‍රවීණ පුවත්පත්කලාවේදියකු හා විශිෂ්ට ගණයේ තීරු ලිපි රචකයකු වන සුන්දර නිහතමානි ද මැල් තීරු රචනා වර්ග තුනක් ගැන සඳහන් කරනවා. ඒ, පෞද්ගලික මත දක්වන තීරු, ඕපාදූප තීරු හා උපහාස තීරු වශයෙන්. මේ අතර මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ලියූ ලිපියක තීරු රචනා වර්ග 12ක් ගැන සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රභාත්ගේ විග්‍රහයට අනුව ගුණසිංහයන්ගේ තීරු ලිපි අයත්වන්නේ පෞද්ගලික මත දක්වන තීරු රචනා සහ උපහාස තීරු රචනා ගණයට. එසේම ප්‍රභාත්, සුන්දර හා මහාචාර්ය සුනන්ද සඳහන් ක‍ර නොමැති අලුත් තීරු රචනා විශේෂයක්ද තම පොතෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, 'ගවේෂණාත්මක තීරු රචනා' යන්නයි. ගුණසිංහයන් ලියූ 'උකුස්සා' සහ 'භූත රිපෝටර්' තීරු ලිපි ඔහු වර්ග කරන්නේ එකී රචනා විශේෂයට. තෝරාගන්නා විෂය ක්ෂේත්‍රය, තීරු ලිපිවලට ඇතුළත් කරන පාත්‍ර වර්ගයා, විවිධ ශෛලීන්, භාෂාව, සාහිත්‍යමය ලක්ෂණ, සමාජ දේශපාලන දෘෂ්ටිය, නිර්භීතකම, අදීනත්වය යනාදිය ගුණසිංහයන්ගේ තීරු ලිපි විග්‍රහයේදී සැලකිල්ලට ගත යුතු කරුණු යැයි මා සිතනවා. ප්‍රභාත්, විමර්ශකයකු විදියට ඒ ‍කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.



දයාසේන ගුණසිංහයන්ගේ තීරු රචනා අතරින් දැනට මුද්‍රිත කෘතියක් ලෙස පළවී ඇත්තේ 'රයිගම්රාළ' විතරයි. ඉතුරු තීරු ලිපි දහයත් පොතක් ලෙස සංස්කරණය වී පළ කෙරෙනවා නම් ඒක අලුත් තීරු ලිපි රචකයන්ටත්, ජනමාධ්‍ය හදාරන විද්‍යාර්ථීන්ටත්, පොදුවේ ගත් විට ප්‍රබුද්ධ පාඨකයින්ටත් ඉතා වැදගත් වන බව අවසන් වශයෙන් සඳහන් කළ යුතුයි.



-      සුනිල් මිහිඳුකුල

සිළුමිණ, 'රසඳුන' අතිරේකය - 2011 සැප්තැම්බර් 18






''දයාසේන ගුණසිංහ : තීරු රචනා විමර්ශන'' (විවරණයක්)


මෙරට විසූ කීර්තිමත් පුවත්පත්කලාවේදියකු වූ දයාසේන ගුණසිංහ මහතාගේ නිර්මාණාත්මක මෙහෙවර ඇගයුමට ලක් කරමින් ප්‍රභාත් චින්තක මීගොඩගේ විසින් රචිත 'දයාසේන ගුණසිංහ : තීරු රචනා විමර්ශන' නම් ග්‍රන්ථය පසුගියදා එළිදුටුවේය. මෙය ඒ පිළිබඳ විවරණයකි.

ප්‍රාණයක් ඇති ඕනෑම පුද්ගලයකුට සන්නිවේදකයකු වීමට පිළිවන. එහෙත් මෙලොව උපදින සෑම පුද්ගලයකුටම නිර්මාණශීලී සන්නිවේදකයකු විය නොහැකිය. එසේම සන්නිවේදකයකු වූ පමණින් යම් තැනැත්තකුට ජන සන්නිවේදකයකු විය නොහැකිය. 

ජන සන්නිවේදන මාධ්‍යයන්ද විවිධ අනන්‍යතාවයෙන් යුක්තය. ඒවා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ලෙස ප්‍රධාන වශයෙන් බෙදී ගොස් ඇත. මුද්‍රිත මාධ්‍ය ලෙස පුවත්පත්, සඟරා සහ ග්‍රන්ථ අයත් ‍වේ. නමුත් මේ ධාරාවන් අතරින් වඩාත් ජනමතය සංවිධානය කිරිමේ කාර්යය ඉටුකරනු ලබන්නේ පුවත්පත් මාධ්‍යයයි.

පුවත්පත් මාධ්‍යයේද විවිධ අංග ලක්ෂණ ඇත. ප්‍රවෘත්ති, විශේෂාංග, කතුවැකි, දැන්වීම්‍ මෙන්ම තීරු ලිපිද ඒවායේ අඩංගුය. පුවත්පතක් තුළ අන්තර්ගත වන දෑ අතරින් තීරු ලිපිය ප්‍රධාන තැනක් ගනු ලබන්නේ කාරණා කිහිපයක් නිසාය. ඉංග්‍රීසි බසින් තීරු ලිපිය හැඳින්වෙනුයේ Column යනුවෙනි. මෙසේ නම් කර ඇත්තේ පුවත්පත් පිටුවේ සැකැස්ම පිළිබඳව සිත් යොමු කිරීමෙනි. පුවත්පත් පිටුවක පෙළ, Text යනුවෙන් නම් කෙරේ. පුවත්පතට තීරු ලිපි අවශ්‍ය වූයේ මක්නිසාදැයි සොයාබැලීමේදී සිත් ගන්නා සුලු කාරණයක් අසන්නට ලැබේ. එනම් මුල් යුගයේ පුවත්පත් පිටුවල ප්‍රධාන ලිපි පළ කිරීමෙන් අනතුරුව ඉතිරිවන ඉඩකඩ පිරවීම සඳහා වෙනත් නිමැවුමක් හදිසියේ සොයාගන්නට නොහැකි වීම නිසා ඇති වූ අර්බුදයයි. එබැවින් කර්තෘ මණ්ඩලයේ කිසිවකු හෝ එම අඩුව පිරවීමට යම් සංක්ෂිප්ත නිර්මාණයක් ඇතුළු කළේය. එය Fillers යනුවෙන් හැඳින්විණි. පසු කලෙ‍ක තීරු ලිපි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සම්පාදනය විය. එය වැදගත් වෘත්තීයමය කාර්යයක් බවටද පත් විණි. කර්තෘ මණ්ඩල සාමාජිකයෝ මෙන්ම, විශේෂ ප්‍රාගුණ්‍යය සහිත බාහිර ලේඛකයෝද පුවත්පත් සඳහා තීරු ලිපි සැපයූහ. 

තීරු ලිපි සම්බන්ධයෙන් අපි මෙබඳු කාරණා පෙන්වා දෙන ලද්දේ පසුගියදා පළවූ එක්තරා ග්‍රන්ථයකට පූර්විකාවක් වශයෙනි. මෙම ග්‍රන්ථය දයාසේන ගුණසිංහ තීරු රචනා විමර්ශන නම් වේ. ප්‍රභාත් චින්තක මීගොඩගේ විසින් රචිත මෙය සඳකඩපහණ ප්‍රකාශනයකි.

දයාසේන ගුණසිංහ යනු කවුරුන්දැයි මෙරට සමාජයේ බහුතරයක් දැන සිටිනු ඇතැයි විශ්වාස කළ හැකිය. කෙසේ වෙතත් ඔහු පිළිබඳව නොදන්නවුන් සිටී නම් දැනගැනීම සඳහාත් ඔහු ගැන දන්නාවුන්ගේ මතකය වඩාත් අවදි කරනු සඳහාත් ග්‍රන්ථයේ 3වැනි පරිච්ඡේදයෙන් කොටස් කිහිපයක් උපුටා දැක්වීම සුදුසුය. එය නම් කර ඇත්තේ 'දයාසේන ගුණසිංහ නම් වූ ඔහු...' යනුවෙනි. 

''දයාසේන ගුණසිංහ මහතා 1936 වසරේ රයිගම් කෝරළයේ උපත ලැබීය. සරසවි ප්‍රවේශය සමත් වූ ඔහු , 1956 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළු විය. ඔහු ආධුනික පුවත්පත්කලාවේදියකු ලෙස ලේක්හවුස් ආයතනයට බැඳුණේය. 1970දී ඔහුට පොදු රාජ්‍ය මණ්ඩලීය පත්‍ර කලා ආයතනයෙන් ශිෂ්‍යත්වයක් ලැබිණි. නැවත පැමිණීමෙන් පසු ඔහුට සිළුමිණ පුවත්පතේ විශේෂාංග කර්තෘ ධුරය ලැබිණ. 1977 ආණ්ඩු පෙරළියෙන් පසු ගුණසිංහ මහතා දිනමිණ ප්‍රවෘත්ති කර්තෘ ලෙස පත් කරනු ලැබීය. මෙරට නැඟී එමින් සිටි ව්‍යාපාරිකයකු වූ උපාලි විජේවර්ධන‍ මහතා නව පුවත්පත් ආයතනයක් ගොඩනඟන්නට සූදානම් වන්නේ මේ අතරය. දයා‍සේන ගුණසිංහ මහතා ඇතුළු පිරිසක් ලේක්හවුස් ආයතනයෙන් ඉවත්ව මෙම නව පුවත්පත් සමාගමේ සිංහල පුවත්පත ආරම්භ කිරීමට කටයුතු කළහ. ඒ 1981 වසරේදීය. මේ නව සිංහල සති අන්ත පුවත්පත දිවයින ඉරිදා සංග්‍රහය විය. එහි ආරම්භක නි‍යෝජ්‍ය කර්තෘ හා සංස්කාරකවරයා වූයේ දයාසේන ගුණසිංහ මහතාය.''

ග්‍රන්ථයේ සිව්වන පරිච්ඡේදයෙන් දයාසේන ගුණසිංහ මහතාගේ නිර්මාණ කෞෂල්‍යය වර්ධනය වීමට තුඩු දුන් සමාජ දේශපාලන පසුබිම කෙරෙහි සංක්ෂිප්ත වශයෙන් අවධානය යොමු කර ඇත. එම පරිච්ඡේදයෙන් උපුටා ගත් කොටසක් මෙසේය.

''දයාසේන ගුණසිංහ මහතා තීරු රචනා කලාවෙහි නිරතවූයේ පසුගිය 70, 80 සහ 90 දශකවලදීය. මෙම දශකත්‍රය 1948න් මෙපිට ඉතිහාසයේ ඉතාමත් සංකීර්ණ කාලවකවානුවක් ලෙස සැලකීම අතිශයෝක්තියක් නොවේ. මෙම කාලවකවානුව මෙරට සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික ක්ෂේත්‍රයන්හි බරපතළ ‍සමාජ, දේශපාලන ගැටුම්කාරී තත්ත්වයන් පැනනැඟුණු පසුකාලීන සමාජ දේශපාලන අර්බුද සඳහා බීජ වැපුරුණු යුගයකි. ඒ වකවානුවේ පුවත්පත් කලාව  යනු ඒ මොහොතේ ලාංකේය සමාජයේ නිරූපණයකි. මෙකී දශක තුන තුළ දයාසේන ගුණසිංහ මහතා වඩාත් පුළුල් ලෙස තීරු රචනයෙහි නියැලුණු කාල සීමාව 1981 සිට 1996 දක්වා වන වසර 15ක කාලසීමාව බව හඳුනාගත යුතුය.''

මෙයින් පැහැදිලි වන්නේ සමාජ අර්බුදයේ සංකීර්ණතා වැඩි වැඩියෙන් විද්‍යමාන වන විට දයාසේන ගුණසිංහ නමැති මාධ්‍යවේදියාගේ තීරු රචනාවන්ද වඩාත් තියුණු දෘෂ්ටියෙන් සංයුක්ත වූ බවයි. එහෙත් පුවත්පත්කලාවේදියකු වූ පමණින් සෑම කෙනෙකු සතුවම මෙවන් දෘෂ්ටිමය නිරවද්‍යතාවක් ඇති වන්නේ නැත. ඉතා තියුණු සමාජ අර්බුද පැන නැඟුණු විට පවා නෑසු කණින්, නොදුටු නෙතින් සිටින මාධ්‍යවේදීන් නැතිවා නොවේ. එහෙත් දයාසේන ගුණසිංහ යනු එබඳු මිනිසකු නොවේ. ඔහු අර්බුද, සටන් පැන නැඟුණු විට එවා මඟහැර යනු වෙනුවට විවෘතවම ඒවාට සහයෝගය පළ කළ අදීන මිනිසෙකි.

ප්‍රභාත් ස්වකීය විමර්ශන ග්‍රන්ථයේ 05 වැනි පරිච්ඡේදය වෙන් කර ඇත්තේ 'දයාසේන ගුණසිංහ ලියූ තීරු රචනා' සංඛ්‍යාත්මක හා ගුණාත්මක වශයෙන් හඳුනාගැනීම කෙරෙහිය. ඔහු විසින් ලියන ලද තීරු ලිපිද ඒවා පළ කළ පුවත්පත් හා සඟරාද පහත දැක්වේ.

රයිගම්රාළ - සිළුමිණ, දිවයින ඉරිදා සංග්‍රහය
සීයගෙ කොලම දිවයින - ඉරිදා සංග්‍රහය
උකුස්සා - දිවයින ඉරිදා සංග්‍රහය
භූත රිපෝටර් - දිවයින ඉරිදා සංග්‍රහය
හලෝ හලෝ - දිවයින ඉරිදා සංග්‍රහය
රණරාළ - ඉරිදා ලංකාදීප
සකල කොලම - ලක්දිව
හෙනහුරාගේ කොලම - ලක්දිව
අංකූරාගේ කැලෑසිය - හිරු
මට හිතෙන හැටි - සිව්දෙස
සංගුරාගේ සංවාද - සිළුමිණ

ප්‍රභාත් සිය ග්‍රන්ථයේදී ගුණසිංහයන් ලියූ තීරු ලිපි මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වයි. ඒ, ආයතනයක සේවය කරමින් රචනා කළ තීරු සහ බාහිර රචකයකු වශයෙන් රචනා කළ තීරු වශයෙනි. මේ අනුව රයිගම්රාළ, සීයගෙ කොලම, උකුස්සා, භූත රිපෝටර්, හලෝ හලෝ හා මට හිතෙන හැටි යන තීරු රචනා අයත්වන්නේ ආයතනගතව හිඳිමින් නිර්මාණය කළ ඒවා ලෙසය. එසේම බාහිර තීරු රචකයකු ලෙස ඔහු කළ නිර්මාණ වන්නේ රණරාළ, සකල කොලම,‍ හෙනහුරාගේ කොලම, අංකූරාගේ කැලෑසිය හා සංගුරාගේ සංවාද ය.

තවදුරටත් මෙම විවරණය සිදු කරන ලේඛකයා සඳහන් කර ඇත්තේ පෞද්ගලික මත දක්වන තීරු රචනා, උපහාස තීරු රචනා සහ ඕපාදූප තීරු රචනා යන වර්ග තුන අතරින් ගුණසිංහයන් රචිත නිමැවුම් අයත් වන්නේ පෞද්ගලික මත දක්වන තීරු රචනා සහ උපහාස තීරු රචනා යන දෙවර්ගයට බවයි. ඒ අනුව රයිගම්රාළ, රණරාළ, හෙනහුරාගේ කොලම, මට හිතෙන හැටි අයත් වන්නේ පෞද්ගලික මත දක්වන තීරු රචනා වර්ගයටය. ගුණසිංහගෙ උපහාස තීරු රචනා ලෙස සීයාගේ කොලම, හලෝ හලෝ, සකල කොලම, අංකූරාගේ කැලෑසිය, සංගුරාගේ සංවාද සඳහන් කර තිබේ. උකුස්සා හා භූත රිපෝටර් ඉහත වර්ගීකරණයට අයත් නොවන බව පෙන්වා දෙන ලේඛකයා, ඒවා 'ගවේෂණාත්මක තීරු රචනා' යනුවෙන් නව තීරු රචනා වර්ගයක් ලෙස හඳුනාගත යුතු බවට යෝජනා කර ඇත.

ඉනික්බිතිව ලේඛකයා ඉහත සියලු තීරු ලිපි පිළිබඳව වෙන් වෙන් වශයෙන් කෙටි විවරණයක් සිදු කොට තිබේ.


ග්‍රන්ථයේ 06 වැනි පරිච්ඡේදයෙන් ඔහුගේ තීරු ලිපිවල භාෂා ශෛලිය පිළිබඳ විමසුම් කර තිබේ. අවශ්‍ය තන්හිදී චිරන්තන භාෂාවෙන්ද, තවත් විටෙක ගැමි වහරින් මෙන්ම පුර වහරින්ද ආලෝකය ලබන ආකාරය එහිදී ඇගයුමට බඳුන් වී ඇත.

ග්‍රන්ථයේ 07වැනි පරිච්ඡේදය වෙන්කර ඇත්තේ ගුණසිංහයන්ගේ තීරු ලිපිවල නිර්මාණාත්මක භාෂා ලක්ෂණ හඳුනාගැනීම සඳහාය. ඔහු ගුණසිංහයන්ගේ භාෂා ලක්ෂණයන්හි හඳුනාගතහැකි ලක්ෂණ 10ක් දක්වයි.

පෙරදිග බෞද්ධ සාහිත්‍යයට අදාළ ආකෘති හා අංගෝපාංග යොදාගැනීම සහ ඒවා නූතන සමාජයට ගැලපෙන ලෙස ප්‍රතිනිර්මාණය කිරීම.

අපරදිග සාහිත්‍යයේ ඇතුළත් අංගෝපාංග දේශීයකරණය කොට යොදා ගැනීම.

ලාංකේය ජන සාහිත්‍යයේ අංග යොදා ගැනීම හා ඒවා නූතන යුගයට ගැලපෙන ලෙස ප්‍රතිනිර්මාණය කිරීම.

හාත්පසින්ම වෙනස් ක‍්ෂේත්‍රයකට අයත් වචන, යෙදුම් සමාජ-දේශපාලන ක්ෂේත්‍රයට අදාළ විග්‍රහ සඳහා අපූර්ව ලෙස යොදා ගැනීම.

විවිධ භාෂා ප්‍රයෝග, පද පෙරළි හා දෙපිට කැපෙන වදන් යොදා ගැනීම.

අලුත් උපමා, රූපක, ප්‍රස්ථාව පිරුළු නිර්මාණය කිරීම.

සමකාලීනව සමාජයේ ප්‍රකට වන වැකි, දැන්වීම් පාඨ යනාදිය යොදාගැනීම සහ ප්‍රතිනිර්මාණය කර දැක්වීම.

අපහාසය වෙනුවට කර්කෂ උපහාස රීතිය.

ච‍ක්‍රොත්තිය, අන්‍යාලාප හා උත්ප්‍රාසය

තෝරාගත් විෂය මූර්තිමත් කෙරෙන වේගවත් හා ප්‍රාණවත් භාෂා රටාව.




මේ සෑම කාරණයක් ගැනම‍ ගැඹුරින් සලකා බලන්නට ලේඛකයා දරා ඇති ප්‍රයත්නය පැසසුම්කටයුතුය. දයාසේන ගුණසිංහගේ තීරු ලිපි තුළ ඇති භාෂාත්මක පෞරුෂය පමණක් නොව එහි දේශපාලන දැක්මද වටහා ගැනීමට මෙමගින් ඉඩ ලැබේ. 

ග්‍රන්ථයේ 08වැනි පරිච්ඡේදය 'තීරු රචනා සමාජ කැඩපතක් ලෙස' යන මැයෙන් සංග්‍රහ වී ඇත. එමගින් මෙතෙක් ගුණසිංහ මහතාගේ තීරු ලිපි පිළිබඳ අවධානය යොමු නොවූ කාරණා මතුකර ගැනීමට ප්‍රභාත් සමත්ව ඇත.

09 වැනි පරිච්ඡේදය 'සන්නිවේදනාත්මක කියැවීමක්' ලෙස සඳහන් කොට තිබේ. එහිදී ගුණසිංහයන් ලියූ තීරු ලිපිවල ශීර්ෂ පාඨවල ඇතුළත් වූ ආකර්ෂණීය ගුණය මෙන්ම, වාරණයෙන් රිංගා යාමද ඔහුගේ නිර්මාණවල අපක්ෂපාතීත්වය හා මඟ පෙන්වීමද ඇගයීමට ලක් වී ඇත.

අවසන් වශයෙන් උප ග්‍රන්ථය තුළ දයාසේන ගුණසිංහ ලියූ තීරු රචනා 11ක් අඩංගු වේ. එමගින් ග්‍රන්ථය පරිශීලනය කරන පාඨකයින්ට ඔහුගේ විවිධ රටාවන්ගෙන් අලංකෘත තීරු රචනා පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය.

-      තිස්ස නිහාල් වික්‍රමසිංහ
ලක්බිම - 2011 දෙසැම්බර් 22





. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 




සී/ස සඳ එළිය (කෙටිකතා සංග්‍රහය)

'' සාහිත්‍යය පිළිබඳ නිර්මාණාත්මක පක්ෂය හා දෘෂ්ටිමය පක්ෂය යන දෙඅංශයෙන්ම සම්මිශ්‍රිත මානයක් මෙම කෘතියේ එන නිර්මාණ රස විඳීම සඳහා අවශ්‍යය. කෙටිකතා පිළිබඳ සාහිත්‍ය විවරණයන්ගේ දැක්වෙන පරිදිම ප්‍රභාත් තෝරාගන්නා තේමා අපගේ දිනපතා ජීවිතය මුහුණ දෙන ඉතා කුඩා - සුලබ සිද්ධි බඳුය. එහෙත් ඔහු ඒවා සිය භාෂා රටාවන් තුළ සමීප රූප බවට පත් කිරීමේදී අපට පෙනී යන්නේ එබඳු දෑ අප මින් පෙර අත් නොවිඳි  බවකි. අප දන්නා දේ තුළම නව තිගැස්මක් - නව කල්පනාවක් හා එයින් උපදින වින්දනීය චමත්කාරයක් ඉපිද වීමට හැකි වීම ඔහු සතු ප්‍රතිභාව වෙයි. අැතැම් විටෙක මෙම 'චමත්කාරය' හුදු සෞන්දර්යාත්මක වූවක්ද නොවේ. අපගේ සමාජය මුහුණ දුන් තීරණාත්මක සමාජ- දේශපාලන සංසිද්ධීන් පසුතල කොටගත් අැතැම් පුවතක්, අපගේ මනුෂ්‍යත්වය පිළිබඳ කල්පනා කම්පනයට පත් කරයි. එහෙත් ඒ කම්පන හුදු සරල විරෝධාකල්ප හෝ අනුකම්පනීය මැසිවිලි හෝ බවට නොපැමිණවීමම, ලේඛකයකු ලෙස ඔහු සිය බස හසුරුවන අාකාරයේ සූරත්වයට නිදසුන් වෙයි.'' (කථිකාචාර්ය චන්දිමා නිශ්ශංක, ජනසන්නිවේදන අධ්‍යයනාංශය, කැලණිය විශ්ව විද්‍යාලය)

                               . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 


සංවර්ධන මිථ්‍යාවන් සහ පරිසර ද‍ේශපාලනය (පුවත්පත්- සඟරා ලිපි එකතුව)

පුවත්පත් කලා ජීවිතය තුළ පරිසරය හා සංවර්ධනය අාශ්‍රිත කතිකාවට අදාළව ලියන ලද විශේෂාංග ලිපි සහ විද්වතුන් සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡා අතරින් තෝරාගත් කිහිපයක් මෙම ග්‍රන්ථයෙහි අැතුළත් වේ. 

මෙරට පරිසරය හා සංවර්ධනය සම්බන්ධව ජාතික හා ජාත්‍යන්තර දේශපාලන මැදිහත්වීම්හි ස්වභාවයද, මෙරට සංවර්ධන පුරසාරම් පිටුපස වන යථාර්ථයන්ද, පාරිසරික පුවත්පත්කලාවේ ලක්ෂණ හා විවිධ මානයන්ද මෙම ලිපි සංග්‍රහය තුළින් හඳුනාගැනීමට පිළිවන. 

මෙම ග්‍රන්ථය, ශ්‍රී ලංකාවේ පරිසරය හා සංවර්ධනය සම්බන්ධව අධ්‍යයනය කරන විද්‍යාර්ථීන්ට මෙන්ම, පොදු පාඨකයින්ටත්, පාරිසරික ජනමාධ්‍යවේදීන්ටත් සප්‍රයෝජනවත් කෘතියකි.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

භින්නෝන්මාදියාගේ රොමෑන්ටික් රාත්‍රිය (කාව්‍ය සංග්‍රහය)

''ප්‍රභාත්ගේ මෙම කවි එකතුව කියවූ මම, 'කවිය යනු වඩාත් යහපත් ජීවිතයක් උදෙසා කවියා විසින් ගසනු ලබන පෞද්ගලික කැරැල්ලකි' යන ප්‍රවාදය සත්‍යයක් යැයි පසක් කළෙමි. මනාව සුසර කරන ලද සියුම් වීණා තන්‍ත්‍රියක් මෙන් සංවේදී හෘදයකින් අාවේශය ලබන ප්‍රභාත්ගේ කවිය, එහෙයින්ම තියුණු ඊයක් මෙන් අපගේ හෘදය සාක්ෂ්‍යය විනිවිදියි. සමාජ ජීවිතය පිළිබඳ වෙනස් විදර්ශනාවක් වෙත අප පමුණුවයි.'' (සුනන්ද කරුණාරත්න - රාජ්‍ය සම්මානලාභී කිවියර)

No comments:

Post a Comment