Friday, August 19, 2016

රසිකත්වයේ උමතු චමත්කාරය අත් විඳිමින් මා තේරූ ගී



ඉතිං තවදුරටත් සිතමින් සිට ඵලක් නැත. ඒ අභියෝගයට මුහුණ දිය යුතුය. එහෙත් පටන්ගත යුත්තේ කොතැනින්ද, කෙළවර කළ යුත්තේ කොතැනින්ද කියා සීමා නිර්ණය කර ගැනීම අසීරුය. අභියෝගත් තිබේ. එහෙත් මෙහෙමත් අභියෝග ඉදිරිපත් කොට රසික සහෘදයින් 'පෙළීම' කෙතරම් සොඳුරු වේදනාවක්ද? සිතිවිලි නවතාගනිමි.‍ෙතරම් දිගු ගමනක් යාමට වුව අනිවාර්යයෙන්ම පළමු පියවර තැබිය යුතුමය.




සිංහල ගී කෙතෙහි ඇගේ අස්වැන්න අමතක කර කෙසේ පළමු පියවර තබම්ද? ඔව්. මගේ පළමු පියවර නිසැකවම ඇයය. නන්දාය. ඇගේ ගී නද විනිවිදිමින් මගේ සිතිවිලි සැරිසරන්නට පටන් ගනී. නවතින්නේ කොතැනද? නැවතිය හැක්කේ කොතැනද? ''නිම් වළල්ලෙන් එපිට සඳරැස් ගලන නිල් මිටියාවතේ...'' මම නවතිමි. තනිවෙමි. ඇතැම් හුදෙකලා රාත්‍රීන්හි ඈත රළ නැ‍‍ගෙන සයුර දෙස බලාගෙන මේ ගීතය මම සියක් වරක් රස විඳ ඇත්තෙමි. මේ යැයි කියාගත නොහැකි කුමක්දෝ සාංකා සහගත හැඟීමක් එවිට මගේ හදවත පහුරු ගාමින් සිටී. ඒ සාංකා සහගත හැඟීමට මම කැමැත්තෙමි.  නිම් වළල්ල‍ෙන් එපිට සඳ රැස් 


සංස්කෘත විචාරයන්ට අනුව නාසික්‍ය හඬ ගායනය සඳහා නුසුදුසු හඬක් ලෙස සැලකෙන බව මහාචාර්ය සුචරිත ගම්ලත් ලියා තිබුණේ කපුගේගේ ගීත පිළිබඳව විමර්ශනාත්මක කෘතියක් වූ 'හඬ' (තිඹිරි, යසනාත්, දළුපොත) කෘතියෙහිය. නමුත් සංස්කෘත විචාරකයින්ගේ ඒ මතවාදයට අභියෝගයක් වෙමින් ඔහු සිය නාසික්‍ය හඬ මගින් ලාංකේය සිංහල ගී කෙතෙහි පුබුදු කළ අස්වැන්න කෙතරම් විශිෂ්ටද? ඔහුගේ ඒ බරැති හඬ සහෘද සිත්වලට ප්‍රේමයද, විරහවද, විවිධ ජීවිතානුභූතීන්ද, සමාජ කතිකාවන්ද ඊයම් බරු මෙන් කිඳා බසින ලෙස දනවන්නට සමත් වුණි. කපුගේගේ සිය ගණනක් ගී අතර 'නින්ද නැති රැයේ' අවදි වන ප්‍රථම ප්‍රේමයේ කඳුළ සමග මම දැහැන්ගත වෙමි. නින්ද නැති රැ‍ය‍ේ...


'සෝමසිරි හේරත්' චිත්‍ර ශිල්පියා විසින් එවක අඳින ලදුව, පාසලේ පළමු පෙළ‍ පොතේ මුණගැසුනු සාමා, අමර සමග 80 දශකයේ මුල් භාගයේ ඇරඹුණු පාසල් ජීවිතයේ ඉපැරණි මතකයන් නගරයේ යනෙන විට නිරන්තරව සිහියට නැ‍ගෙයි. ආදි ශිෂ්‍ය සංගමේ කටයුතු අතරතුර පාසල් දිවියේ මතකයන් නිරතුරු අලුත් වෙයි. සිඟිති දූ පුතුන් සමග වර්තමානයේ පාසලේ වරින්වර මුන ගැසෙන මිතුරන්ගේ, මිතුරියන්ගේ දශක තුනකට එහා රූපකායන් හා කටයුතු සිහියට නැ‍‍ගෙයි. සියලුම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සුදුසු ගීතයක් යෝජනා කරන්නට යමකු කිව හොත් ශාලිත‍ ගයන මෙම ගීතය නිසැකවම පළමු තැන ගන්නවා ඇත. නැවත අපට ආපසු යන්නට ලැබුනොත් යන තැන, යන කාලය එයය. ''සුළඟ‍ේ ලෙළෙනා මල් සේ දඟපා අප පාසල් ගිය කාලයේ...'' අද මා, පුතණුවන් සහ දියණිය සමග නිස්කාන්සු‍‍ෙන් හිඳින සැඳෑවක බොහෝවිට මුමුණන ඒ ගීය ඔවුන්ද ආදි ශිෂ්‍යයින් වන මතු යම් දිනෙක මුමුණනු ඇත. ඔව්. සියලුම ආදි ශිෂ්‍යයින්ගේ සදාකාලික ගීතය එයය. සුළඟ‍ේ ලෙළ‍ෙන‍ා 


ඒ මෙරටට ජාතික රූපවාහිනිය හඳුන්වා දුන් අලුතය. එවක එහි ප්‍රචාරය වූ, ළමා ගායිකාවක ගයන ගීතයක් තිබිණි. සිප්පි කටුවක් බඳු පසුබිමක සිට ඒ ගීතය ගායනා කරන ලද්දේ ප්‍රියංකා වීරසේකර විසිනි. ගුවන් විදුලි ළමා ගීත බොහොමයක් ඊට පෙර සිට නිර්මාණය වී තිබුනද, මෙරට මුල්ම රූපවාහිනී ළමා ගීතයක් ලෙස ප්‍රියංකා විසින් ගයනු ලැබූ 'මිදුලේ වැලි මාළිගාවේ...' ගීතය ඇතැයි සිතමි. ඒ ගීතය සමග ආත්මීය බැඳීමක් මා තුළ ගොඩනැඟී ඇත්තේ මෑතක සිටය. දියණිය විසින් සිය පියා වෙත කියන ආකාරයෙන් නිර්මාණය වී ඇති මේ ගීතය වඩාත් හෘදයාංගම ලෙස මා හට දැනෙන්නේ දැන්ය. ඇතැම් සැන්දෑවක, දියණිය හා පුතු දෙපස තබාගෙන ආලින්දයේ සිටින විට ඔවුන් දෙදෙනාගේ ඉල්ලීම අනුව මා විසින් මුමුණන ගීතයක් වන්නේ මෙයයි. දුව වෙනුවෙන් එක් වරක් කියන විට එහි අවසාන පදය 'දුවේ කියා මා අමතන් පියාණනී' ලෙසත්, පුතු වෙනුවෙන් ඉන්පසු නැවත එම ගීතය මුමුණන විට 'පුතේ කියා මා අමතන් පියාණනී' ලෙසත් කීමට සිදුව ඇත්තේ 'ඒ අසන්නන්ගේ ඉල්ලීම්' අනුවය. මිදුල‍ේ වැලි මාළිගාව‍ෙ... 


ජීවිතයේ එදිනෙදා මානව සම්බන්ධතා අතර සිත නවතින තැන් තිබේ. විටෙක එය ඒක පාර්ශ්වික ප්‍රේමයක් සේ දිව විකාගෙන ඉවසා වදාරනු හැර කළ හැකි යමක් නොමැත. කෙතරම් සමීප මලක් වුව සිප ගන්නට තහනම් නම්... ? අමරසිරි පීරිස් එසේ කියන්නේ මටමද කියා විටෙක සිතෙයි. ඔහුගේ ගැඹුරු හඬ ඒ ආත්මීය වේදනාව හදවතේ ගැඹුරුම ඉසව් වෙත එතරම්ම අපූරුවට සන්නිවේදනය කරන්නට සමත්ය. අපගේ ජීවිතවල වන එබඳු මල්, එබඳු විල්, එබඳු පහන් තාරකා... අමරසිරිගේ හඬ තුළ පොදු අත්දැකීමක් ලෙස ඒකාත්මික වන අයුරු අමතක කළ හැකිද? ඒ මගේ මල සමග, මම මෙසේ ‍තනි ‍වන්නෙමි. ඔබ ඔබේ මල සමග තනි වනු නිසැකය. මලක් වුණ‍ේ ඇයි නුඹ මට... 



පොතේ නම් තිබෙන්නේ හැඟීම්වලට වහල් වෙන්න එපා කියාය. පොතේ හැටියටම වැඩ සිදු වෙනවා නම් ජීවිත කෙතරම් ඒකාකාරී වනු ඇත්ද? හැරත් පෘථග්ජනයින් වන අපට එසේ රො‍බෝවරුන් ලෙස සිටිය හැකිද? වැලිකඩ බන්ධනාගාර බිතු පවුරේ 'සිරකරුවෝත් මනුෂ්‍යයෝය' කියා ලියා තිබෙන වැකිය දකින විට, 'විවාහකයෝත් මනුෂ්‍යයෝය' කියාද එය සංශෝධනය කළ හැකි යැයි සිතෙයි. මොහොතකටවත් හැඟීම්වලට වහල් වෙන්නට ඇත් නම් කියා සිතෙයි. ඉතිං... 'අපට හැඟුම්වලට ‍ඉඩදී මොහොතක් සිටිය හැකි නම්...? වික්ටර්ගේ හඬින් ඒ බව ගැයෙන විට, අපේ 'සෙවණැලිවලින් මිදී' සිත සැරිසරන ඉසව් ගැන කිය යුතු නැතැයි සිතෙයි. අපි හැඟුම්වලට ඉඩ දී... 



ඉපැරණි පෙම්වතියන් ගැන අපට බොහෝ දේ සිතෙයි. සුනිල් ආර්. ගමගේ ලියූ ලෙස, රඟහල කෙළවර අඳුරු නිමේෂයන්, සාගර වෙරළේ සොඳුරු සැඳෑවන් සිහියට නැ‍ගෙයි. ඇත්තටම, 'ඇය' දැන් කොහි සිටිනු ඇත්ද? එවක ඇගේ සොඳුරු රූපකාය දැන් කෙබඳුද? ඇගේ සමාජ භූමිකාව කුමක්ද...? ‍අපේ පරපුරේ ගීත රචක රවිට සිතෙන්නේ 'අම්මා කෙනෙක්, බිරිඳක් වෙලා ඉපැරණි පෙම්වතී දැන් සිටිනු ඇති' බවය. දිවුල‍්ගේ හඬින් එය ඇසෙන විට මටද එසේ සිතෙයි. ඔබටත් එසේදැයි මම නො අසමි. අම්ම‍ා ක‍ෙන‍ෙක් බිරිඳක් ව‍ෙලා .. 



ජීවිතේ ලියැවුණු කවිවලට වඩා, තවම නොලියැවුණු කවි දස දහස් ගණනකි. විටෙක නිදිවරමින් කල්පනා කළද දෙගිඩියාව නිසා, මෙය ලියම්දෝ නොලියම්දෝ යන විචිකිච්ඡාව නිසා මුල් පදයකින් දෙකකින් ඔබ්බට‍ නොගිය කවි කළල ලිපි‍ ගොනු තුළ තිබී හමු‍ වෙයි. විටෙක, කවි තරම් භයානක සන්නිවේදන ක්‍රමයක් තවත් නැතැයි කියා පවා සිතෙයි. එබඳු කවි කළල දකින විට මගේ සිහියට එන්නී ඇයය. දීපිකාය. 'කවිය ඔබ ! ' යැයි ඈ ළයාන්විත සරින් ගයන විට කවි ගොනුව තවදුරටත් දිග ඇරගෙන සිටින්නට නොසිතෙයි. එය වසා දමමි. ඇගේ ගී ස්වරය සමග බැ‍‍‍ඳී හිඳිමි. කවිය ඔබ 



ඒකාකාරී දවස් නහුතයක් අතර අලුත් දවසක් ලෙස සි‍තෙන දවස් අතීතයේ අතරින් පතර හමු විණි. අලුත් ඉරක් යට, දැනෙන අලුත් සුවඳක් සමග, අලුත් සිහිලක් සමග... ‍මතු දිනෙකද එබඳු දවසක් දෙකක් ඉඳහිට වත් හමු වනු ඇතැයි සිතන්නට කැමැතිය. එවැනි දිනෙක 'ජීවිතය සුන්දරද මෙතරම්' කියා වුව සිතෙන්ට පිළිවන.  රූකාන්තගේ ස්වරයෙන් එය ඇසෙන විට මට සිතෙන්නේ නම් එහෙමය. සුවඳ දැනී දැන‍ෙනවා... 


සාහිත්‍යකරුවන් අතර 'සඳ' තරම් භාවිතයට ගැනුණු වෙනත් ආකාශ වස්තුවක් මේ විශ්වයේ නැත. 'සඳ' සංකේත කොට ගත් සිංහල ගීත බොහොමයකි. ඒ සඳත්, මේ සඳත් හැර, ජෝතිපාලගේ 'සරා සඳ'ට මම වඩාත් ඇලුම් කරමි. නිහඬ රාත්‍රියක සිහිනයකින් මෙන් ඇසෙන ඒ ගීයේ සංගීතයද ව‍ඩාත් චමත්කාර ලෙස ‍දැනෙයි. පිස්සු හදන සඳ ! සරා සඳ‍ේ... 


 කාලය - 1995 වසරේ දවසකි. ස්ථානය - ගම්පහ, බණ්ඩාරනායක විද්‍යාලයේ උසස් පෙළ පංතියකි. කාල පරිච්ඡේදයට නියමිත ගුරුතුමා පැමිණියේ නැත. ඒ වෙනුවට පංතියට ගොඩ වැදුණේ නාට්‍යකරණය  විෂය භාර සුදම් සර්ය. විෂයයක් ගැන කතා කරනවාට වඩා කැමති සින්දුවක් ගැන කතාකරමුදැයි සර්ම යෝජනා කළේය. අපි 'ඇන්නෑවේ'යි කී ඉබ්බෝ වීමු. කැමති සින්දුවක් යෝජනා කරන්නැයි කී විට මිතුරකු 'දම්පාටින් ළා සඳ බැස යනවා' යැයි කීවේය. සුදම් සර් සින්දුව භාරගත්තේ මඳ සිනාවකිනි. ගීතයේ අනුභූතිය, පද පෙළ රස විඳිමින් අපූරු සංවාදයක් සිසුන් සමග ගොඩනඟා ගැනීමට සර්ට වැඩි වේලාවක් ගත වූයේ නැත. මේ රස වින්දනය අතරේ මටත් නොදැනීම මා යම් කල්පනාවකට වැටී තිබිණ. සර්ගේ හඬද, මිතුරන්ගේ හඬද එක්වරම නැවතිණ. ඉදිරි පේළියේ සිටි මා දෙස විමසිල්ලෙන් බලා සිටි සුදම් සර් හඬ අවදි කළේය.

''පුතෝ උඹේ කල්පනාව නම් මට ඇල්ලුවෙ නෑ. මට නම් පේන්නේ මේ අනුභූතිය උඹට හොඳට දැනිල තියෙන පාටයි...''

මිතුරන්ගේ සිනා හඬ පිපිරිණි.

මේ ගීතය ගැන විසි වසරකට පෙර, එදා දැනුණු හැඟීමම අදත් මට දැනේ යැයි කිවහොත් එය බොරුවකි. ඇත්තටම, එය දැන් ඊට වඩා දැනේ. දම් පාටින් ළා සඳ බැස යනවා... 



කඳුකරය පිළිබඳ, මොකක්දෝ සිහිනයකදී හමු වූවා වැනි අති සමීප බවක් මට බොහෝ විට දැනී තිබේ. මීදුමින් වැසුණු කඳු වැටි දකින විට මා සිත අවදිවන්නේ සිහිනයකින් මෙන් ඇසෙන ඒ ගීතයෙනි. අබේවර්ධන බාලසූරිය සහ සුජාතා අත්තනායක ගයන ඒ ගීය මගේ ප්‍රියතම යුග ගී අතර නිසැකවම දෙවන තැන හිඳී. ඉතිං... 'බොඳ මීදුම් කඳු රැල්ලේ සුරංගනා රජ දහනේ...' මම සිතින් පිය නඟමින් හිඳිමි. රවීන්ද්‍ර, කරුණාකර මට ඉඩ දී ඔබ නීටා අසලින් ඉවත්වන්න !බ‍ොඳ මීදුම් කඳු රැල්ල‍ේ... 



ඇය මිතුරියක ලෙස මට ඉතා සමීපය. ඇගේ ජීවිතයේ ‍අන් කිසිවකුටත් නොකියූ බොහෝ දේ ඇය මා සමග කියා තිබේ. ඒ සිය ජීවිතයේ වඩාත් විශ්වසනීය මිතුරා පිළිබඳ ඇගේ ඇදහීමය. විටෙක ඇගේ ස්වරය මා හැඟීම් අතර, අතරමංකරවන සුලුය. එහෙත් මා හට නිරූපණය කරන්නට සිදුව ඇත්තේ  ඇගේ හොඳම විශ්වසනීය මිතුරාගේ භූමිකාවය. ඇය කවදාවත් මට ''සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා'' යැයි කියා නැත. එහෙත්, කපිල ලියා ඇත්තේද, ප්‍රදීපා හා ලක්ෂ්මන් කියන්නේද, මටම යැයි මේ ගීතය අසන වාරයක් පාසා නොව, ඉන් පසුවත් මට සිතෙන්නේය. සුප‍ෙම් හැඟුම්... 



මෙරට 'විරහ ගී රජු' ලෙස ඔහු අපේ සිත අරක් ගෙන සිටි යුගයක් තිබිණ. ඒ යුගය ගැන දැන් ඇත්තේ මතක සුවඳක් පමණි. 'ප්‍රේම ප්‍රචණ්ඩත්වය' මෙරට සමාජයටත්, ‍සිංහල ගීතයටත් කඩා වදින්නට පෙර, විරහ දුක සමනය කර ගන්නට ප්‍රත්‍යක්ෂ ඔසුවක් වූයේ ඔහුගේ ගීතයන්ය. මිල්ටන් මල්ලවාරච්චි, ඒ ඔහුය. විරහ ගීයක් නොවන එක් අපූරු යුග ගීයක් ඔහු මාලනී බුලත්සිංහල සමග ගයන්ය. අතිශය ප්‍රේමණීය මේ යුග ගීතය අසන විට එබඳු ප්‍රේමයක උණුසුම් පහස දැනෙනවා දැනෙනවා බඳුය. දැන් ඉතිං වෙන කුමක් කරන්නද...? 'සීත අරණේ සුපුල් නාමල - සුවඳ ගැල් වූ ජීවිතේ....' විඳිමි. සීත අරණ‍ේ සුපුල් නාමල... 



ආදරය ගැන විමසූ විට 'ඔවුන්ගේ' පළමු පිළිතුර 'බෑ' ය. දෙවන වර විමසූ විටත් 'බෑ'ය. ඒත් 'කැමතියි -අකමැතියි' ශෛලියෙනි. තෙවන වර විමසූ විට 'බෑ' නැත. එහෙත් 'හා'ත් නැත. ඔවුන් 'බෑ' කියන්නේත් 'හා' කියන එකටය. ඒ ඔවුන‍්ගේ හැටිය. ඇය කෙතරම් කොන්දේසි දැමුවත් ඔහු වැඩේ අත හැරියේ නැත. එහෙයින් අවසානය කෙතරම් සොඳුරුදැයි ක්‍රිෂාන්ත එරන්දක හා මාලනී බුලත්සිංහල ගයන මේ ගීයෙන් දැනෙයි. 'මගෙ ආදර වරුසාවට යටිකුරු කළ කළසකි ඔබ' යැයි මුලින් කියන ඇය, අන්තිමේ කියන්නී 'ඒ වැ‍ස්සෙන් පෙම්වත් වූ මිහිලිය ලෙස මම ඉන්නද?' කියාය. ඔවුන්ගේ හැටි එහෙමය. මග‍ෙ ආදර පවසට ඔබ...


වීණාවකට සහ කොවුලකුට එක්ව කළ හැකි බොහෝ තිබේ යැයි සිතේ. උරතලයේ රැඳී සත්සර රැව් නඟන්නට වීණාවකට පිළිවන. රන් ස්වරයෙන් ගයන්නටත් වීණාවේ හද පිරිමදින්නටත් කොවුලාට පිළිවන. එලෙස සත්සර රැව් නඟන වීණාවීගේත්, රන් ස්වරයෙන් ගයන කොවුලාගේත් ගීය වසර කිහිපයක සිට මගේ රසික සිත පිරිමදිමින් සිටී. කසුන්ගේත් ඉන්ද්‍රචාපාග‍ේත් හඬ මගේ සවණෙහි නින්නාද වනු විඳිමින් මේ සටහන නිමා කරන්නට මා කැමතිය. වීණාවී 



අවසාන වශයෙන් ඉයන්ට, කියන්ට දෙකක් තිබේ.


ඒ 'ස්තූතියි, ඉයන්' කියාය.


රසිකයකු ලෙස, මෙබඳු උමතු චමත්කාරයක් අත්විඳිමින් ගීත ගැන ලියන්නට නිමිත්තක් ‍ගොඩනඟාදී ඔබ ඉදිරිපත් කළ අභියෝගය අපූර්වය. 

මා සමග ඒ 'රසිකත්වය‍ේ උමතු චමත්කාරය' විඳීමට එක්වූ ඔබ සැමටත් 'ස්තූතියි' න‍ොකියා කොහ‍ොමද?





36 comments:

  1. ලස්සන සින්දු සිලෙක්ශන් එකක්...

    //අවසාන වශයෙන් ඉයන්ට, කියන්ට දෙකක් තිබේ.


    ඒ 'ස්තූතියි, ඉයන්' කියාය.//

    එකෙන් ම!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාරස ගීත රස විඳීම ගැන.

      Delete
  2. තවත් අපූරු ගී එකතුවක්. දැනෙන ගී කීපයක්.

    ජයවේවා!!!

    ReplyDelete
  3. නන්දා මලිනියගේ ගී වෙලාවකට එපා වෙනකන්ම අහනවා ඒත් අප්පා මේ පලවෙනි සින්දුවම අහල නෑ නේ කවදාවත්. ඒක ඇරෙන්න අනිත් හැම ගීතයක්ම වගේ මගෙත් ප්‍රියතම ගීත විශේශයෙන්ම නින්ද නැති රැයේ...., මලක් වුනේ ඇයි නුඹ මට හදවතට බොහොම සමීපයි.මේ ගීත් අතරමටම ඔබේ ඒ ඒ ගීයට ලියා තිබෙන කතාත් බොහොම අපූරුයි.
    ආ... ඉතින් මෙහෙට කඩාපාත් උනෙත් ඉයන්ගෙ මඟපෙන්වීමෙන්.ඒ නිසා ඉයන්ට දෙකක් කියන්නම ඕනේ.

    ඉස්කොතුයි ඉයන්

    ReplyDelete
    Replies
    1. මෙහෙට කඩාපාත් වීම ගැනත් අදහස් දැක්වීමටත් ස්තූතියි කාව්‍යා. අපේ ජීවිතවල විවිධ අවස්ථාවන් සමග විඳින්න පුළුවන් ගීත නන්දා මාලිනියගේ ගීත අතර තිබෙනවා.

      Delete
  4. තවත් අපූරු සින්දු ටිකක්. සතුටුයි !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ. මට මතක් වෙනවා මහගම සේකර එක්තරා කවියක ලියා තිබුණා.'සඳ දකින විට මට මතක් වෙන්නේ ඔබේ මුහුණ නොව, රොකට්, වැලන්ටිනා තෙරස්කෝවා...' වැනි කවි පදයක්.
      දැන් මට සඳ දකින විට මතක් වෙන්නෙ ඔබ සහ ඔබේ පියාගේ සංකල්ප රූපයක්.
      ''සඳ මිදුලට එනවා...''
      ''අා.. ළඟකදි ඉඳලද...?''

      Delete
  5. ඔබේ ලිවීමේ ශෛලිය ගීත හඳුන්වා දීමටම සුදුසු එකක්. වෘත්තිමය බවක් දැනෙනවා. සීත අරණේ, බොඳ මීදුම්, දම්පාටින් ලා සඳ බැස යනවා, මමත් කැමති ගීත

    ReplyDelete
    Replies
    1. විවිධ මහාද්වීපවල සිටින මිනිසුන් පසුගිය දිනවල රියෝ ඔලිම්පික් උළෙලේ කේන්ද්‍රගත වුණා වගේ, ලෝකයේ විවිධ මහාද්වීපවල භෞතිකව සිටින, ඒවගේම විවිධ මතවාදී කොදෙව්වල හා සීමාවල සිටින අපේ මිනිසුන් මිනිත්තු තුනේ සිංහල ගීතය තුළ ඒකාත්මික කරන්නට ඔබගේ නිර්මාණාත්මක මැදිහත්වීම හේතු වුණු බව සඳහන් කළ යුතුමයි.ඔබ වැන්නවුන්ගේ නිර්මාණාත්මක ප්‍රවේශයන් හා සංකල්පයන් මගින් සිංහල බ්ලොග්කලාවේ උන්නතිය වෙනුවෙන් කළ හැකි කාර්යාභාරය විශිෂ්ට බව මගේ කල්පනාවයි.

      Delete
  6. ප්‍රභාත්, කොයි තරන් ඇහුවත් එපා නොවෙන ගී, ඒ වගේමයි ඔබේ ලීවීමත්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහ‍ෝදරී. මා ඒ ගීත ඇසුර‍ෙන් විඳි චමත්කාර ජනක හැඟීම් ඔබටත් දැනීම සතුටක්. ල‍ොව කොතැන හිටියත් එකම රෑන‍ෙ කුරුල්ලෝ !

      Delete
  7. නියම සිලෙක්ෂන් එක. සින්දු 16 ටම කැමතියි. සින්දු ගැන 70 ට වැඩියි. ඔක්කොම එකතු කරපු ඉයන් ගේ ලින්ක් එක කොහේ හරි තියාගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් අයිය‍ෙ. ඉයන්ග‍ේ ම‍‍ෙම සංකල්පය හා කර්තව්‍යය ඇගයිය යුතු එකක්. ඒ වග‍ේම සිංහල බ්ල‍ොග්කලාව්‍ෙ අලුත් අත්හදාබැලීම් සඳහා අපූරු ප්‍රව්‍ෙශයක්.

      Delete
  8. හිතට දැනෙන ලස්සන සටහනක් ... වැඩියෙන්ම හිත නතර උනේ 'සුප‍ෙම් හැඟුම් ' සිංදුවට තැබූ සටහනට ..හේතු ගොඩක් සහිතව ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසි. සටහන හිතට දැනුනු එක ගැන සතුටුයි. අර 'හ‍ේතු ග‍ොඩ' කිවුවා කියලා හිතා ගන්නම්.

      Delete
  9. බොහොම ලස්සන සටහනක් එක්ක ඉදිරිපත් කරලා තියෙන සිලෙක්ෂන් එක ඇත්තෙන්ම සුප්රියි...

    ]ජය වේවා..[

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විභී. ඔබ ත‍ේරූ ගීත අතර මා කැමති ගී කිහිපයක් තිබුණා. අර ට‍ෙලි නාට්‍යවල ගීතත් මග‍ේ මතකයන් අලුත් කළා. ජය !

      Delete
  10. වැසි දැරිය, කෙන්කියුෂා සහ උන්මත්තක තෝරපු ගීත් එකතු වුණා. බ්ලොග් 25 ක ගීත ලැයිස්තුව මෙතන. ඔවුන්වත් දිරිමත් කරන ලෙසටයි අරයුම.

    ReplyDelete
  11. නිම් වළල්ලෙන් ගීතය මං අහන්න පුරුදු වෙලා ඉන්නෙ මහ රෑට,හඳඑලිය වැටෙන වෙලාවට..

    අදමයි මේ පැත්තෙ ගොඩ වැදුණෙ.. ඉයන් මාමා තමා පාර පෙන්නුවෙ..))

    ReplyDelete
    Replies
    1. ඔන්න සාදරය‍ෙන් පිළිගත්තා, වැසි දැරිය. ඉයන් මාමත් කරන වැඩ න‍ේද? ඔබ්‍ෙ පරපු‍ර‍ෙන්, 'නිම් වළල්ල‍ෙන්' ගීතය රස විඳින ක‍ෙන‍ෙකු හමුවීම සැබ‍ැවින්ම සතුටක්. ජය !

      Delete
  12. කපිල අයියා මම පෞද්ගලිකව දන්නවා වුනත් සුපෙම් හැඟුම් ගීතය ඔහුගේ රචනයක් බව මම දැනගත්තෙ අද...ස්තූතියි ප්‍රභාත්...:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රවි ප්‍රතිචාරයට.

      Delete
  13. ඇත්තම කියන්නම්.. මේ ගීත වලටත් වඩා මා රසවින්දේ ඔබේ සුගායනීය හඳුන්වාදීමේ වදන් රටා. ඒ හඳුන්වාදීම කෙතරම්ම ප්‍රභලදැයි කියතොත් ගීයේ සබැඳිය වෙත අප යොමුවන්නේ නිරායාසයෙන්මයි.. අගේ ඇති ගී රැසක් ඉතාමත් අගේ ඇති හඳුන්වාදීම් සමඟ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අැත්තටම සහෝ, මම අවුරුදු විස්සකට අාසන්න කාලයක් විවිධ ශෙෙලීන්ගෙන් ලේඛන කටයුතුවල යෙදුනට මේ වගේ රස වින්දනාත්මක වියමනක් කරන්න පෙළඹුණු ප්‍රථම අවස්ථාව මේක. ඉයන්ගේ අභියෝගය, මට මේ ලිවීමේ ශෙෙලිය අත්හදාබැලීම සඳහා අපූරු අභ්‍යාසයක් වුණා. එය සාර්ථක වී අැති බව ඔබ අැතුළු සහෘදයින්ගේ ප්‍රතිචාරවලින් පෙනෙනවා.සතුටුයි. ඔබගේ ප්‍රතිචාරයට ස්තූතියි.
      ඔබටත් ජයම වේවා !

      Delete
  14. ඔබේ ගීත එකතුවේ ඇති සියලුම ගීත වලට එක ලෙසටම කැමතියි...

    එයිනුත් අහන හැම වතාවකම මා හඬවන ගීය වන්නේ "මිදුලේ වැලි මාලිගාවේ" ගීතයි...ඔබේ දරු පැටවුන් උස් මහත් වී ලෝකය දිනා එන දවසක, ඔවුන් ළඟ වාඩිවී මේ ගීය මුමුනන්ට ලැබුනොත්, ඔබ මේ ලොව ඉන්නා භාග්‍යවන්තම පියවරුන්ගෙන් කෙනෙක් වේවි...

    ඒ වගේම ඔබ මේ ලියා ඇති රටාවත් අතිශ්යයෙන්ම සුන්දරයි...

    ඔබට ජය !!!

    ReplyDelete
    Replies
    1. පොකුරු වැහි, මගේ පියා පිළිකාවකින් මියගියේ මට අවුරුදු 21දි. මා රැකියා කරමින් ඉගෙනගත්තේ දුෂ්කරතා මැද්දේ. මා ලබන අධ්‍යාපන ජයග්‍රහණ පියකු ලෙස විඳින්නටවත්, මා ලියන පොතක් පතක්, නිර්මාණයක් කියවා රස විඳින්නටවත් තාත්තාට වාසනාවක් තිබුණෙ නැහැ.මා ලියූ මුල්ම පොත් දෙකේ කර්තෘභාගයට අදාළ මුදලින් මා ඉගෙනගත් පාසල් දෙකේ පුස්තකාල දෙකට පොත් පරිත්‍යාග කළේ තාත්තා වෙනුවෙන්. ඒ ගීතය ඔබව හඬවනවා වගේම මාවත් සිතින් හඬවනවා.මගේ දරු පැටවුන් දෙදෙනා ලෝකය දිනන දවස පිළිබඳ ඔබේ ප්‍රාර්ථනයට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  15. ලස්සන සිංදු ටිකක් සමග ලස්සන සටහනක්..

    ReplyDelete
  16. ඔන්න මා ඔබේ අඩවිය මගේ බ්ලොග් රෝලට දාගත්තා.

    බොහොම හොඳ ගීත එකතුවක් තෝරා තියනවා.

    ReplyDelete