Friday, October 21, 2016

කොලාජ් දවසක්

9.00ට විතර

''ගුඩ් මෝනිං නිෂාදි''
''ගුඩ් මෝනිං, ඩියර්. මං ඔයාව දුර තියාම දැක්කා... ඔයා අද හරි ස්මාර්ට් විදුර..''
''අපි කොහොමත් ස්මාර්ට් තමයි... අැඳුම් අැන්දත් නෑන්දත්.''
''ඔන්න ඔයා ඉතිං උදේ පාන්දරම කුණුහරුප කියන්න පටන්ගත්ත...''
''මොකද්ද මං කිවුව කුණු හරුපෙ?''
''අැඳුම් නෑන්දත් ස්මාර්ට් කියපු එක!''
''ඉතිං.. ඒක අැත්තනෙ නිෂාදි.. ගැහැණු පිරිමි නිරුවත් සිරුර තරම් සුන්දර රූපයක් තවත් තියෙනවද? මට හිතාගන්න බැරි නිෂාදි ලෝකෙ සුන්දරම දේවල් අැයි කුණුහරුප වෙලා තියෙන්නෙ කියල...''
''ප්ලීස් ඩියර්.. උදේ පාන්දරම දාර්ශනික ප්‍රශ්න අහල මගෙ ඔලුව අවුල් කරන්න එපා!''


9.45ට විතර

''උඹත් එකක් උදේ නිෂාදි නැළවි නැළවි කතා කරන කොට අපර්ණ ඒකි දිහා බලන් හිටියෙ කන්න වගේ.. උඹ අද ඔෆිස් එකට එනකොට අපර්ණ උඹ දිහා මාර බැල්මක් දැම්ම උඹ දැක්කෙ නෑනෙ...''
''අපරණ ගැන පවු කියල හිතෙනව මචං. බැන්දට තාම ළමයි නෑනෙ. මට හිතෙන්නේ අපරණගෙ ඔය අමුතු හැසිරීම්වලටත් බලපාල තියෙන්නෙ ඔය කාරණේ... ඒකි සෑහෙන්න මානසිකව විඳවනව අැති...''
''ඉතිං අපට මොකද බං.. බලහත්කාරකං කරනව නෙවේනෙ. අපර්ණ කැමති නම්නෙ විදුර...''
''එහෙනං ඉතිං උත්සාහ කරල බලපං. උඹනෙ තනකඩය..''
''මොකද උඹට හදිස්සියෙම තුන්වැනි සිල්පදේ අාරක්ෂා කරන්න මතක් වුණේ ?''
''නෑ මචං... මං කැමති නෑ එහෙම මානසිකව විඳවන ගෑනියකුගෙන් සංතෝෂ වෙන්න...''
''විදුර මං මෙච්චර කල් දැනගෙන හිටියෙ නෑනෙ උඹට ඒ සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියකුත් තියෙනව කියල..''

11.10ට විතර

''විදුර කොහොමද ඊයෙ ක්‍රිකට් මැච් එක? මං නං ටිකයි බැලුවෙ අනේ... අපේ ටීම් එක නියමෙට ගැහුවලු නේද? අපේ මහත්තයි පුතයි නං මැච් එක ඉවර වෙනකංම බලල. රෑට මැච් එක තියෙන දවසට මටත් ලේසියි. මොනව හරි දෙන්නට උයල දීල වේලාසන නිදහසේ නිදාගන්න පුළුවන්.''
''මං ක්‍රිකට් මැච් බලන්න අාස නෑ රුවනි.''
''අයියෝ පිරිමියෙක් වෙලත් ඔයා ස්පෝර්ට්ස්වලට අාස නැද්ද?''
''අාස ස්පෝර්ට්ස් තියෙනවා. ඒවා ඉතිං ගෘහස්ථ ක්‍රීඩාංගණවල විතරයි කරන්න පුළුවන්. ඒ වගේ හොඳ පිට්ටනියක් අහු වුනොත් අපිත් නියම ක්‍රීඩකයො තමයි රුවනි.''
''අැයි ඔයාට දැන් ගෙදර පිට්ටනිය මදි වෙලාද...? ඉන්න මං විශාකට කෝල් කරල කියන්නං විදුරට ගෙදර පිට්ටනිය මදි වෙලා අනුන්ගෙ පිට්ටනි හොයනව කියල සෙල්ලම් කරන්න..''

12.30ට විතර

''ෂා.. අද ඔයාගෙ බත් එකේ පොලොස් උයල. මගෙ බත් එකේ පොලොස් මැල්ලුං.. දාන්නං පොලොස් මැල්ලුං ටිකක්. ඒක නෙවෙයි විදුර ඔයා ඊයෙ දුන්නු රත්න ශ්‍රීගෙ කවි පොත මං කියෙවුවෙ එක හුස්මට.. ඒකෙ වස්සානය කවියට මං හරි අාසයි. මොකද්ද ඒකෙ මුල? ගං දෑල දොඩමළුය ඉන්ට බැරුවා...''
''ඔය දෑල දොඩමළුය සුවඳ බැරුවා ඉන්ට...''
''අන්න හරි... ඔයාට ඒක කටපාඩම් නේද? ඔයත් කාලයක් කවි ලියුව නේද..? කරන්නකො ඔයත් කවි පොතක්. මං තව පොලොස් කෑල්ලක් ගන්නද?''
''ගන්න ගන්න. වැඩක් නෑ වින්ධ්‍යා. මේ කවි විකුණන්න පුළුවන් කාලයක් නෙවෙයි. මගෙ කවි තිබුණු පත්තර පිටු ගොඩක් මීයො කාල, අහකට විසි කළා ළඟදි. මිනිස්සු ජීවිතේ විඳව විඳව ඉන්නව මිසක් කවියක් විඳින්න උත්සාහ කරන්නෙ නැහැ. දැන් කවි රස විඳින්නෙ වේයො, කාවො, මීයො විතරයි.''
''ඔච්චර අසුබවාදී වෙන්න එපා විදුර. මට ජීවිතේ ගොඩක් දේවල් දැනෙන්න පටන්ගත්තෙ ඔයා දීපු පොත් කියවල. විශේෂයෙන්ම කවි පොත්. ඔයා දන්නවනෙ මං සමහර අවස්ථාවල මානසිකව කඩා වැටිල හිටිය හැටි. මං ඔයාට කියල තියෙනවනෙ මට දිවි නසාගන්න හිතිච්ච සිද්ධි ගැන. ඒ දවස්වල කවුරුවත් මං කියන දෙයක් අහන්නෙ නැතිව ඉන්දැද්දි ඔයානෙ පැය ගණන් මට කන්දීල මගෙ හිත හැදුවෙ. එක එක පොත් කියවන්න දීල මං වගේ සිද්ධිවලට මූන දීපු තව කොච්චර ලෝකෙ ඉන්නවද කියල මට අවබෝධ කළේ. එහෙම කරපු ඔයා කවි ගැන ඔහොම කියනකොට මට දුකයි..''
''හරි හරි. අද උදේ නියම වැඩක් වුණානෙ වින්ධ්‍යා. මම බස් එකේ එද්දි අජිත් තිලකසේනගෙ කෙටිකතා පොතක් බල බල අාවෙ. සාමාන්‍යයෙන් බස් එකේ කවුරු හරි පොතක් බලද්දි එහා පැත්තෙ ඉඳගෙන ඉන්න කෙනත් පොතට ටිකක් එබිල බලන එක සිරිතක්නෙ. ඉතිං මට එහා පැත්තෙ ඉඳගෙන හිටියෙ ගෑනු ළමයෙක්. ඒ ළමය පොතට එබිල බලල බයවෙලා වගේ පොතේ පිටුව දිහා බලනව මගෙ මූණ දිහා බලනව මට පේනව. මං හිනාව තද කරගෙන හිටිය. අජිත් තිලකසේන ලියන සිංහල දැකල ඒ ළමය තුෂ්ණිම්භූත වෙලා වගේ...''
''හිහ්.. ඉතිං..?''
''ඊට පස්සෙ ඒ ළමය බස් එකෙන් බැහැල යන ගමනුත් හොල්මං වෙලා වගේ මා දිහා බලනව... ඒ ළමය තාම කල්පනා කරනව අැති ඒ සිංහලේ මොකද්ද කියල...''
''පවු ඒ අහිංසක ළමය... ඔයත් මාර වැඩනෙ කරන්නෙ විදුර.. ඔයා කියවන පොත්වලින් අහල පහල ඉන්න අයත් පිස්සු වට්ටනවා...''
''හරියට ඔයා පිස්සු වැටුන වගේද?''
''අනේ යන්න. මං පිස්සු වැටුණෙ ඔයාගෙ පොත්වලට නෙවෙයි...''
''එහෙනං?''
''ඔයාට... ඔයාගෙ අදහස්වලට. ඔයා කියන සමහර පුංචි දේවල්වල මට දවස් ගණන් කල්පනා කරන්න දේවල් තියෙනවා...''
''ඒක නං බරපතළ රෝගයක්!''
''මං ඒ රෝගයට අාසයි විදුර. රාේගවාහකයටත් ඊට වඩා අාසයි.''

3.00ට විතර

''ජයසිරි අද මොකද මේ තේ පානයට පෙර කේක් බෙදන්නෙ? ඔෆිස් එකේ කවුරුවත් ලොකු ළමයෙක් වෙලාද?''
''අහන්නකො විදුර මහත්තය සුජානි මිස්ගෙන්.''
''සුජානි මොකද මේ?''
''මගෙන් මුකුත් අහගන්නෙ නැතිව කේක් කෑල්ල කාපං.. අද මගෙ බර්ත් ඩේ එක..''
''කලින් කියන්න එපායැ.. හැපි බර්ත් ඩේ සුජානි !''
''තෑන්ක්ස්.''
''අැත්තටම මේ වෙන කොට ඉටිපන්දම් කීයක් විතර පත්තු කරන්න ඕනද සුජානි?''
''ඉටිපන්දං? උඹට පිස්සුද විදුර? ඉටිපන්දං නෙවේ සුජානිගෙ වයස අනුව ගිනිමැලයක් පත්තු කරන්නයි ඕන...''
''ෂිහ්.. උඹලට කේක් කන්න දීලත් මට අහගන්න වෙන කතා. මීට වඩා හොඳයි බර්ත් ඩේ එකට බලු කපුටු දානයක් දුන්න නං....''

6.15ට විතර

''ඒක නෙවෙයි ළමයො.. ඊයෙ හරි වැඩක් වුණානෙ. ඔයා මට කියවන්න දීපු එමා බෝවාරි  පොත ගෙදරදි හස්බන්ඩ් දැකල මගෙන් අහනව මොකාද මේ පොත දුන්නෙ... මේවද දැන් කියවන පොත් කියල.. මං තාම ඒ පොතේ පිටු ටිකයි කියෙවුවෙ. ඒක නරක පොතක්ද විදුර..?''
''කිසිම නරකක් ඒ පොතේ නෑ නිරාශා. ඒක ඔයාල කියවන්නම ඕන පොතක්. ඔය පොත කියවල ඉවර කරන්නකො. ඊට පස්සෙ මං තව හොඳ පොතක් දෙන්නං...''
''ඒ මොකද්ද?''
''චැටර්ලි අාර්යාවගේ පෙම්වතා කියල පොතක් !''
''තෑන්ක්ස්. එහෙනං මං ඉස්සරහ හෝලට් එකේ බහිනව විදුර. ඔයා හෙට එනවනෙ නේද? ගුඩ් නයිට්!''
''ගුඩි නයිට් නිරාශා!''

15 comments:

  1. පොත් කිහිපයක ඉඟියන් කෙටි කථාවකින් අපූරුවට ඉදිරිපත් කරලා. ඒ වගේම ප්‍රභාත්, මේකෙන් කාර්යාලයක දවස ගෙවෙන හැටිත් කියන්න උත්සාහ කරාද කියලත් මට හිතෙනවා. අපූරුයි...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. 2016 අන්තර් රාජ්‍ය සේවා සාහිත්‍ය නිර්මාණ තරගාවලියේ කෙටිකතා අංශයේ දෙවන ස්ථානය ලැබුණේ මගේ මේ කෙටිකතාවට, දුමින්ද.

      Delete
    2. සුභ පැතුම් සහෝ.....

      ජයවේවා!!!

      Delete
  2. එමා බෝවාරි මා අසා තිබුණත් කියවලා නැහැ. නමුත් ඔබේ ලිපියෙන් පසු මා එහි අන්තර්ගතය සොයා දිව ගියෙමි. මා කියවන ඊලග නවකතාව එමා බෝවාරි නොහොත් මදාම් බෝවාරි වනු ඇත.

    ලස්සනයි ඔබේ කතා විලාසය ප්‍රභාත්

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ අනිත් එකත් (චැටර්ලි අාර්යාවගේ පෙම්වතා) කියවන්න. මෑතකදි විදර්ශන ප්‍රකාශන විසින් සිංහල පරිවර්තනය කළා.

      Delete
  3. හිතට අල්ලා ගිය රචනා විලාශයක් . එමා බෝවාරි පොත අපේ ගෙදර ළමයින්ට අහුනොවන සේ පරිස්සම් කරන බව තේරුණා නිසා හොරෙන්ම අරන් කියෙව්වා. එතකොට හයේ නැත්නම් හතේ.

    ReplyDelete
  4. මම 11 වසරෙදි විතර 'එමා බෝවාරි' සහ 'ලේඩි චැටර්ලිස් ලවර්' (එහි එවක සිංහල පරිවර්තනය වුනේ 'ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන'වගේ නමක් බවයි මතක)කියවුවෙ, පුස්තකාලයෙන් ගෙනත් බොහොම රහසිගත ලෙස. ඒ දවස්වල ඉතිං ඒ වගේ පොත්වල වෙනස් රසක් හොයපු කාලෙනෙ. දැන් එමා බෝවාරි පරිවර්තනයේ සිරිල් සී. පෙරේරාගේ විශිෂ්ට පරිවර්තන හැකියාව දැනෙනවා.

    මගේ දුවගේ කියවීමේ වේගය අනුව මගේ පුස්තකාලයේ මෙවැනි පොත් 'අාරක්ෂා කර ගැනීමේ' තර්ජනයට දැන් මම මුහුණ දී සිටිනවා.

    ස්තූතියි තිලකෙ අයියෙ ගොඩ වැදුනට.

    ReplyDelete
    Replies
    1. කතාව රසවත්. අපූරු විදියට ලියලා තියනවා.

      හැබැයි මේක නම් වැරදියි.

      //එහි එවක සිංහල පරිවර්තනය වුනේ 'ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන'වගේ නමක් බවයි මතක//

      ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන නමින් පරිවර්තනය කොට ඇත්තේ, ලියෝ ටෝල්ස්ටෝයි ගේ 'Kreutzer Sonata' කෘතියයි.

      Delete
    2. ස්තූතියි අැනෝ වරද පෙන්වාදීම ගැන. මම තෝල්ස්තෝයිගේ 'Kreutzer Sonata'කෘතියේ සිංහල පරිවර්තනය කියවා නැහැ. නමුත් මම කියවූ ඩී.එච්. ලෝරන්ස්ගේ 'Lady Chatterley's lover'කෘතියේ සිංහල පරිවර්තනය මට මතක තිබුණේ අර නමින්. පරිවර්තකයා දයාරත්න ගරුසිංහ වගේ ළාවට මතකයක් තිබෙනවා. කොහොම වුනත් එය මුල්වරට සිංහලට පරිවර්තනය වී තිබුනේ 'චැටර්ලි අාර්යාවගේ පෙම්වතා' යන නමින් නෙවෙයි. මෑතකදී තමයි එය විදර්ශන ප්‍රකාශකයින් විසින් 'චැටර්ලි අාර්යාවගේ පෙම්වතා' නමින් පරිවර්තනය කර තිබෙන්නේ.
      නැවතත් ස්තූතියි කෙටිකතාව අැගයීමට සහ වැරැද්ද පෙන්වා දුන්නාට.

      Delete
  5. Lady Chatterley's lover පොත නම් කාට හරි දෙන්නේ මොකක් හරි යටි බලාපොරොත්තුවක් ඇතුව. හෙහ් හෙහ්. ගොඩක් රස වින්ඳා. තරඟයක් ජයග්‍රහණය කල කථාවක් වීම පුදුමයක් නෙමෙයි. සුභ පැතුම්

    ReplyDelete
  6. නැතුව නැතුව !
    ස්තූතියි ඉයන්.

    ReplyDelete
  7. හරිම රහ කතාවක්...ඔබේ ලිවීමේ රටාව බොහොම අගෙයි ප්‍රභාත්...කෙටි කතාවක් ඇතුලේ එකිනෙකට වෙනස් මිනිස් සිතිවිලි ගැන බොහොම අගේට ලියලා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු වැහි. කාලෙකින් මේ පැත්තේ. ඔබගේ පර්යේෂණයේ කටයුතු අවසන්ද?

      Delete