කියමන්

 අත්‍යවශ්‍ය පෙරවදනක් !

පුවත්පත්කලාවේදියකු ලෙස මා පළමු පුවත්පත් සම්මුඛ සාකච්ඡාව පැවැත්වූයේ කවුරුන් සමගදැයි සැබැවින්ම මා හට දැන් මතක නැත. එහෙත් සම්මුඛ සාකච්ඡා සම්බන්ධ මෙබඳු සිදුවීමක් තවමත් මගේ මතකයේ තිබේ.

ඒ, පාසල් අධ්‍යාපනය හමාර කොට මා 'සිතිජය' සඟරාවේ කටයුතු කරමින් සිටි අවධියේ, 1998 හෝ 1999 වසරේ එක්තරා දිනයකි. ස්ථානය, ගංගොඩවිල, ගල්හේන පාරේ තිබූ 'සිතිජය' නවාතැනයි. චන්දන සිරිමල්වත්ත සහෝදරයා, මා ඉදිරිපිට තිබූ රවුම් මේසය මත ටේප් රෙකෝඩරයක් තැබුවේ මෙසේ කියමිනි.

''මල්ලි... පරිවර්තන වේදිකා නාට්‍ය ගැන කරපු ඉන්ටවීව් එකක් මේකෙ රෙකෝඩ් කරල තියෙනවා. ඊළඟ සඟරාවට මේක ගන්න ඕන. මට කවරෙ අාටිකල් කීපයක් කරන්න තියෙන නිසා මේකත් ලියන්න කාලයක් නැහැ. ඔයාට ඉන්ටවීව් ගැන ඉගෙන ගන්නත් එක්ක මේක ලියමුද? හොඳ අත්දැකීමක් වේවි...''

''හරි... ලියමු !''  

ගත් කටටම මා සාකච්ඡාව ලියන කාර්යය භාරගත්තද, එහි අසීරුව වැටහුණේ ලියන්නට පටන්ගත් විටය. තරමක් අබලන් වුවත්, එවක 'සිතිජය' සතු මහාර්ඝ වස්තුවක් වූ ඒ ටේප් රෙකෝඩරයෙන් කෙසේ හෝ ඒ සම්මුඛ සාකච්ඡාව ලිඛිත සටහනක් බවට පත් කළෙමි. වචනයක් වචනයක් පාසා මා පිටු ගණනාවක් ලියා තිබූ සාකච්ඡා සටහන චන්දන සහෝදරයා, 'පත අට එකට සිඳීමේ සංස්කරණ න්‍යාය' අනුව සංස්කරණය කොට ඊළඟ මාසයේ 'සිතිජයේ' පිටු දෙකක පළ කළේය.

පුවත්පත් සම්මුඛ සාකච්ඡා පිළිබඳ මගේ පළමු පාඩම, එසේය.

. . . . . . . . . . .

එයින් පසු වසර ගණනාවක් තිස්සේ පුවත්පත් සහ සඟරා සඳහා විවිධ විෂය ක්ෂේත්‍රවල විද්වතුන්, විශේෂඥයින් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීමේ අවස්ථාව මා හට උදා වූ අතර, එම සාකච්ඡා මගින් විවිධ විෂය ක්ෂේත්‍රයන්හි සුවිශේෂ කරුණු අනාවරණය කරගෙන පාඨකයා වෙත සන්නිවේදනය කිරීමට හැකියාව ලැබිණි.

සැබැවින්ම, පුවත්පත්කලාවේදියකු වශයෙන් තෝරාබේරා ගැනීමකින් තොරව දේශපාලනය, කලාව, සාහිත්‍යය, විද්‍යාව, ඉතිහාසය, පුරාවිද්‍යාව, සිනමාව... අාදී මෙකී නොකී බොහෝ ක්ෂේත්‍ර පිළිබඳව කියවා තිබීමේ වැදගත්කම අවබෝධවන්නේ එබඳු සම්මුඛ සාකච්ඡාවලදීය. තනි විෂයයක් සම්බන්ධව පමණක් නොව, විවිධ විෂයයන්ගේ අන්තර් සම්බන්ධයන් ගැනද අවබෝධයක් තිබීමෙන් විද්වතුන් සමග පවත්වන සම්මුඛ සාකච්ඡාවලදී ඉතා වැදගත් තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවන අතර, සාකච්ඡාව පවත්වාගෙන යාම වඩාත් පහසු වේ. එසේම, අදාළ විශේෂඥයා තුළ, පුවත්පත්කලාවේදියා කෙරෙහි අැතිවන විශ්වාසය මත වඩාත් සැඟවුණු තොරතුරු අනාවරණය කිරීමේ විභවයක් ද පවතී. ඒ සඳහා පුවත්පත්කලාවේදියාට අත්‍යවශ්‍යයෙන්ම වැදගත් වන්නේ අදාළ ක්ෂේත්‍රය පිළිබඳව ගැඹුරින් කියවා තිබීම සහ සාකච්ඡාව සඳහා නිසි පූර්ව සූදානමයි.

. . . . . . . . . . . .

මා පුවත්පත්කලා කටයුතුවලින් ඉසිඹුවක් ලබා මේ වන විට වසර කිහිපයක් ගෙවී ගොසිනි. වසර පහළොවකට අාසන්න මගේ පුවත්පත්කලා ජීවිතයේ මතක සටහන් අතර සැරිසරන අවස්ථාවක එවක සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවන්වල අන්තර්ගත කාරණාවන්හි අදටත් පවත්නා වැදගත්කමත්, ඒවා පුවත්පත් සඟරා පිටු අතර තවදුරටත් සැඟවී යා නොදී වෙනස් අාකෘතියකින් සමාජගත කිරීමේ අවශ්‍යතාවත් මා හට වැටහිණි. මෙසේ දිගහැරෙන තෝරාගත් සාකච්ඡා සටහන් කිහිපය ඒ සිතිවිල්ලේ ප්‍රතිඵලයයි. මේ සටහන් පුවත්පත්කලාව හදාරන විද්‍යාර්ථීන්ට මුද්‍රිත මාධ්‍ය සම්මුඛ සාකච්ඡා කලාව පිළිබඳව අවබෝධයක් ලබාදෙන අතර, මෙරට ක්ෂේත්‍ර ගණනාවක පිළිගත් විද්වතුන්ගේ අදහස් මතවාද පිළිබඳ පුළුල් කියැවීමකට ප්‍රවේශයක් සපයයි.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
  • දේශපාලනය / සමාජය



















  • විද්‍යාව / තාක්ෂණය











  • ඉතිහාසය / පුරාවිද්‍යාව














  • සංස්කෘතිය / ජනමාධ්‍ය / වෙළෙඳ ප්‍රචාරණය































No comments:

Post a Comment