Thursday, April 28, 2016

සිංහල : සෙල්ලිපියේ සිට පරිගණකයට


කාෙළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයන අායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටියුරන්ස් නන්දසාර මහතා මෙරට පරිගණක අධ්‍යාපනය සම්බන්ධව විශාල කාර්යභාරයක් සිදු කරමින් සිටින විද්වතෙකි. යුනෙස්කෝ සංවිධානයේ අාසියානු භාෂා සම්පත් සංවර්ධන ජාලයේ ප්‍රධානියා වශෙයන් කටයුතු කරන නන්දසාර මහතා, විශේෂයෙන්ම අාසියානු භාෂාවන් මුහුණ දෙන අභියෝග හා ඒ්වායේ පැවැත්ම පිළිබඳ අධ්‍යයන සිදු කරන හා ඒම වාර්තා යුනෙස්කෝ සංවිධානය වෙත ලබා දෙන පුරෝගාමී කාර්යය සිදු කරයි. එමෙන්ම, ඔහු ජපාන ටෝකියෝ විශ්ව විද්‍යාලයේ සංස්කෘතික, සමාජයීය හා තාක්ෂණ ජාලයේ සාමාජිකයකු ලෙසත් කටයුතු කරයි.
2007 වසරේ පැවති වැඩමුළුවකදී ටියුරන්ස් නන්දසාර මහතා විසින් කරන ලද දේශනයක් අැසුරින් මා විසින් සකසන ලද මෙම ලිපිය පළමු වරට 'මුරගල' සගරාවේ 2007 ඔක්තෝබර් කලාපයේ පළවිය. ඒම ලිපිය නැවත සංස්කරණය කොට මෙලෙස ඉදිරිපත් කරන්නට කල්පනා කළේ, සිංහල භාෂාව පරිණාමය වූ ගමනේ නූතන අවස්ථාව අපට පරිගණක තාක්ෂණය තුළ දක්නට ලැබෙන බැවිනි. එමෙන්ම පරිගණකය තුළ මෙලෙස සිංහල භාෂාව භාවිත කරන අප, පරිගණකයට සිංහල අා හැටි දැන සිටීම අතිශයින්ම වැදගත් බැවිනි.



. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .



මා වසර 20ක් පමණ තිස්සේ පරිගණක තාක්ෂණ ක්ෂේත්‍රයේ කටයුතු කළත් සිංහල භාෂාව පරිගණකගත කිරීමේදී මා ලද අත්දැකීම්, අපේ සිංහල භාෂාවට සිදු වෙමින් පවතින්නේ කුමක්ද යන්න තේරුම්ගන්නට බොහෝ උපකාරී වුණා. සිංහල වසර 2500ක පමණ ඉතිහාසයක් අැති භාෂාවක්. හෙළ, එළු යන නම්වලින් හැදින්වී තිබෙන්නේ මේ භාෂාව. අපේ සිංහල භාෂාව ඉන්දියාවේ බ්‍රාහ්මී අක්ෂරවලින් හා සංස්කෘත භාෂාවෙන් බිදී වර්ධනය වුණු භාෂාවක් බව බොහෝ විට කියනවා. නමුත් මෙතැන පොඩි ගැටලුවක් තිබෙනවා. මොකද ඊට පෙරත් අපේ රටේ හෙළ, ළු කියන භාෂාව තිබුණා. බ්‍රාහ්මීය අක්ෂරවලින් අක්ෂර කිහිපයක් අපට අාවත් ඒ් වන විටත් අපට අනන්‍ය අක්ෂර තිබුණා. කෙසේ නමුත් බුදුදහමත් සමග පැමිණි ඒ බ්‍රාහ්මී අක්ෂර මාලාව තමයි, ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී ලංකාවේ නොයෙකුත් ස්ථානවල පිහිටුවා තිබූ ගල්කණුවල තිබුණේ. අපගේ ඒ් වසර 2500ක ඉතිහාසයේ ගල්කණුවල තමයි භාෂාව වර්ධනය වී තිබෙන්නේ. හදුනාගත් වැදගත්ම කාරණා සහිත ගල්කණු තුන්දහස් ගණනක් අපේ රටේ තිබෙනවා. මෙම ගල්කණුවල තිබෙන්නේ කවුරුන් විසින්, කා හට, කුමක් අරභයා සකස් කළේද යන්න. ඒ තුළින් භාෂාව හැදුනෙ කොහොමද, වර්ධනය වුණේ කොහොමද, කාලානුරූපව වෙනස් වුණේ කොහොමද යන කාරණා හඳුනාගන්නට පුළුවන්.


බ්‍රාහ්මී අක්ෂරවලින් අපට අක්ෂර 38ක් පැමිණ තිබුණා. නමුත් ඒ වන විටත් අපට තිබූ අපේ හෙළ අකුරු 24 ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවස වන විට අකුරු 28 දක්වා වර්ධනය වුණා. පෙර කී බ්‍රාහ්මීය අක්ෂර ඉවත්කර දැමුවා. ඒ විදේශ අක්ෂර අැතුළත් කරගන්නේ නැතිව අපේම අක්ෂර නැවත වර්ධනය කරගන්නට සිංහලයා සමත් වුණා. ඉන්දියාවේ පල්ලව ග්‍රන්ථවලින් අපට අාභාසය ලැබී අපේ අකුරු වටකුරු වුණා. සමහරු කියන්නේ, තල්පත්වල / පුස්කොළ පොත්වල කටුවෙන් අකුරු ලියන්නට සිදු වීම නිසා අපේ අකුරු වටකුරු වුණු බව. තල්පතේ සිරස් අතට හෝ තිරස් අතට ලියන්න බැහැ, තල්පත ඉරෙනවා. ඒ් නිසා අකුරු වටකුරු ලෙස ලියන්නට පටන්ගෙන තිබෙනවා. කෙසේ හෝ අපේ ඉතිහාසයේ ලියැවී අැති නොයෙකුත් ග්‍රන්ථ තිබෙනවා. ඒ ග්‍රන්ථ කඩදාසි කොළවල ලියා තිබුණෙ නැතිවාට, තල්පත්වල ලියා තිබෙන ඒ ග්‍රන්ථවල අකුරු විමර්ශනය කර බැලුවාම සිංහල භාෂාවේ ප්‍රබලකම හඳුනාගන්නට පුළුවන්.


වර්තමාන සිංහල අක්ෂර මාලාවේ අක්ෂර 61ක් තිබෙනවා. අැතැමුන් මේ වන විට භාවිතයේ නැති ස්වර 2ක් ඉවත්කර, 58යි කියනවා. නමුත් අපි ඒ අක්ෂර ඉවත් කරන්නේ අැයි? අප අත ඒ් අක්ෂර තිබුනොත් ඉදිරියේදී හෝ සිංහලයේදී ඒවා භාවිත කරාවි. ඒ් වගේ‍ ‍ම අපි අලුතින් අකුරු ඒකතු කරගෙනත් තබෙනවා. මේ විදියට බැලුවාම සිංහල භාෂාව අද වන විට අාසියානු කලාපයේ පමණක් නොව මුළු ලෝකයේම ප්‍රබල භාෂාවක්. අාසියානු භාෂා පිළිබඳව කතා කරන විට ලෝකයේ බොහෝ වුන් සිතන්නේ දේවනාගරී භාෂාව හා ඊට අනුබද්ධ අක්ෂරමාලාව තමයි ලෝකයේ තිබෙන ප්‍රබලම භාෂාව හා අක්ෂර මාලාව කියලා. (ඉන්දියාවේ හින්දි භාෂාව ලියන්නට භාවිත කරන අක්ෂර දේවනාගරී අක්ෂර ලෙස හැඳින්වේ. ) නමුත් අපේ රටේ සිංහල භා‍ෂාව ඊට වඩා ප්‍රබල බව කියන්නට කෙනෙක් නැහැ. 'අැ' සහ 'අෑ' යනු ලෝකයේ අනෙකුත් කිසිම භාෂාවක නැති, අපේ සිංහල භාෂාවේ පමණක් තිබෙන ස්වර දෙකක්. අනෙකුත් භාෂාවල 'අැ' ශබ්දය තිබුනත් ඒම ශබ්දය ලිවීම සඳහා අවශ්‍ය අක්ෂරය අපට මිස වෙන කිසිවකුට නැහැ. ඒ වගේම සිංහලයේ තිබෙන සඤ්ඤක අක්ෂර පහ වෙනත් භාෂාවල නැහැ. සිංහලයේ ස්වරවල, ව්‍යංජනවල ප්‍රබලත්වය නිසා අපේ කට, දිව, තොල් වුවමනා විදියකට හස‍ුරුවන්නට පුළුවන්. සිංහල අක්ෂර මාලාවේ ප්‍රබලත්වය තුළ අප ගොඩනගාගෙන තිබෙන වචන සංඛ්‍යාව කෙතරම්ද ? 'අම්මා' යන පදයට පමණක් සමාන පද 32ක් සිංහල භාෂාවේ තිබෙනවා. ඉර, හඳ වැනි පදවලට සමාන පද කෙතරම්ද? මේ සෑම වචනයකම අපේකම තිබෙනවා. ඒ් වගේම සිංහල භාෂාවේ විවිධත්ව රාශියක් තිබෙනවා. පන්සලේදි, ගමේදි, කුඹුරෙදි, කමතෙදි කතා කරන සිංහලයේ ඒකිනෙකට කොතරම් වෙනස්ද? ඊළඟට ලියන භාෂාව හා කතාකරන භාෂාව වශයෙන් වන වෙනස. සිංහල භාෂාවේ මටසිළුටු වචනවලින් කතාකරන විට ඒක අැත්තටම මිහිරි සංගීත ඛණ්ඩයක් වගේ. අපි සිංහල හරියට කතා කරනවා නම්, හින්දි භාෂාවේ වගේම ගීතවත් බවක් සිංහල භාෂාවෙත් තිබෙනවා. මේ සියල්ලම එදා සිට අද දක්වා අපේ භාෂාව තුළ අප පවත්වාගෙන අා ලක්ෂණ.
අද වන විට බොහෝ දෙනා මේවා දන්නේ නැහැ. විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පවා සිංහල භාෂාවේ ස්වර හා ව්‍යංජන කියන්න දන්නේ නැහැ. අද පාසල්වල පවා සිංහල භාෂාව නිසි පරිදි උගැන්වෙන බවක් පෙනෙන්නට නැහැ. මේ නිසා සිංහල ජනතාව පවා සිංහල භාෂාවෙන් අෑත් වෙමින් යනවා. මේ තමයි අද සිංහල භාෂාව පවතින තත්ත්වය. අදින් අවුරුදු දහයක පමණ කාලයක සිට මේ දක්වා සිංහල භාෂාවේ විනාශයට ඉතා ප්‍රබල බලපෑමක් එල්ල වී තිබෙනවා. සිංහල භාෂාව විනාශයවීම මෑත කාලයක සිට සිදු වෙන්නට පටන්ගත්තත් ඒ් දක්වා අපේ රටේ සිංහල භාෂාව විනාශ කරන්න අධිරාජ්‍යවාදීන්ට හැකි වුණේ නැහැ.

භාෂා වැනසීම


නමුත් යටත් විජිත යුගයේදී මේ අාසියානු කලාපයේ භාෂා විශාල ප්‍රමාණයක් විනාශ කරනු ලැබුවා. ලෝකයේ භාෂා 7012ක් තිබෙනවා. ඒයින් 3020ක්ම තිබෙන්නේ අාසියානු රටවල. අාසියානු කලාපයේ තුර්කිය, මොංගෝලියාව, ජපානය, පිලිපීනය, ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව අාදී රටවලින් වටවන කලාපය ගත්තාම, මේ කලාපයේ ප්‍රධාන වශයෙන් රටවල් 51ක් තිබෙනවා. මේ කලාපය සංස්කෘතිය, සභ්‍යත්වය හා භාෂාව අතින් ඉතා වැදගත් කලාපයක්. මේ කලාපය තුළ වන රටවල භාෂාවන්ට පසුගිය අවුරුදු 100ක කාලය තුළ මහා විනාශයක් සිදු වී තිබෙනවා. භාෂාවන්ට සිදු වී අැති ඒ විනාශය බොහෝ දෙනෙක් දන්නේ නැහැ. 'අපේ භාෂාවන්ට සිදුවුණේ මොකක්ද ' කිය‍මින් ඒ විනාශයට ලක් වූ රටවල් අද වැළපෙනවා.


මේ කලාපයේ භාෂාව විනාශ වුණු ප්‍රධාන රට තමයි, තුර්කිය. අවුරුදු 600ක් තුර්කියේ තිබූ ඔත්මන් අධිරාජ්‍යය පළමු ලෝක සංග්‍රාමයෙන් පසු බිඳ වැටුණා. ඉන්පසු තුර්කියේ පාලකයා වුණේ බටහිර ගැති මුස්තාෆා හර්තුක් නමැත්තෙක්. ඔහු තම පාලනය පටන්ගත් දා සිටම තුර්කිය උඩු යටිකුරු කළා. මුලින්ම පහර දුන්නේ තුර්කි භාෂාවට. භාෂාවක් විනාශ වීමට බලපාන ප්‍රධාන දෙයක් තමයි ඒ භාෂාවේ අක්ෂරමාලාව. අක්ෂරමාලාව දුර්වල නම් භාෂාව භාගෙට මැරීගෙන යනවා. තුර්කි භාෂාව මුල පටන්ම ලියමින් තිබුණේ අරාබි අක්ෂරවලින්. නමුත් හර්තුක්ගේ පාලනය යටතේ, අවුරුදු තුනක කාලයක් අැතුළත අරාබි අක්ෂරමාලාව ඉවත්කර, තුර්කි භාෂාව රෝමන් (ඉංග්‍රීසි) අක්ෂරමාලාවෙන් ලිවිය යුතු බවට නීතියක් පැනවූවා. ඊට පසුව තුර්කි භාෂාව ලියන්න පටන්ගත්තේ ඉංග්‍රීසි අකුරු 26න්. තුර්කි භාෂාව ඉතා ප්‍රබල භාෂාවක්. නමුත් ඒ භාෂාව ඉංග්‍රීසි අකුරුවලින් ලියන්නට යාමෙන් ඒ භාෂාවේ තිබූ ගාම්භීර බව, මටසිළුටු බව, වචන, ශබ්ද අාදී අනන්‍ය ලක්ෂණ නැති වී ගියා. ඊළඟට දෙවන ලෝක යුද්ධය අවසානයත් සමග ඒතෙක් රෝමන් අකුරුවලින් ලියමින් සිටි තුර්කි භාෂාව, සෙරලික් අක්ෂරවලින් (රුසියානු භාෂාවේ අක්ෂර) ලියන්නට නියෝග කළා. ඒ වන විටත් අභාවයට යමින් තිබූ තුර්කි භාෂාවේ ගුණාංග තවදුරටත් අභාවයට යාම ඒ නිසා සිදු වුණා. තුර්කියේ අවුරුදු 70ක කාල පරාසය තුළ පරම්පරා තුනක සාමාජිකයින්ට ඒ ඒක් ඒක් පරම්පරාවේ සාමාජිකයා කියන ලියන දේ ඒකිනෙකාට වැටහෙන්නේ නැහැ. ඒ පරම්පරා තුනක ප්‍රශ්නය. ඒ විතරක් නෙවෙයි. මේ අක්ෂරමාලා වෙනස් කිරීම නිසා තුර්කි භාෂාවේ තිබූ බොහොමයක් වචන සම්පූර්ණයෙන්ම අභාවයට පත් වුණා. අැතැම් වචන ලියන්නට බැහැ. ලිව්වත් උච්ඡාරණය කෙරෙන්නේ වෙන විදියකට. තුර්කි භාෂවට සිදු වුණු මේ විනාශය හැඳින්වෙන්නේ 'අක්ෂරමාලා යුද්ධය' නමින්. එතරම් බරපතළ විනාශයක් තුර්කි භාෂාවට සිදු වුණා.


වියට්නාමයෙ තිබුණා, චුනෞන් නමැති භාෂාව සහ එහි අක්ෂරමාලාව. අද වන විට එය විනාශකර හමාරයි. ඊට වගකිව යුත්තේ වියට්නාමය යටත් කරගනු ලැබූ ප්‍රංශ අධිරාජ්‍යය විසින්. ප්‍රංශ අාධිපත්‍යය යටතේදී වියට්නාමයේ චුනෞන් භාෂාව සම්පූර්ණයෙන්ම රෝමන් අක්ෂර (ඉංග්‍රීසි)වලින් ලියන තත්ත්වයට පත් කළා. ඒ වියට්නාම් භාෂාවේ තිබූ ප්‍රබල ශබ්ද රෝමන් අක්ෂරමාලාවෙන් කියන්නට බැහැ. මේ නිසා අද වියට්නාම් ජාතිකයින් විශාල ගැටලුවකට මුහුණ දී සිටිනවා, තමන්ගේ භාෂාවට සිදු කර අැති ඒ විනාශය නිසා.


පිලිපීනය වසර තුන්සිය ගණනක් තිස්සේ පාලනය කරනු ලැබුවේ ස්පාඤ්ඤ අධිරාජ්‍යය විසින්. ඔවුන් පිලිපීනයේ තිබූ 'ටැගලෝග්' හා 'බින්බියාන්' භාෂා රෝමන් අක්ෂරවලින් ලියන්නට කටයුතු යෙදුවා. මේ නිසා ඒ භාෂා දෙකම විනාශ වුණා.


ඉන්දුනීසියාවේ භාෂා 742ක් තිබෙනවා. ජාවි, බාලි, අචි ඒ අතරින් භාෂා කිහිපයක්. අද ඉන්දුනීසියාවේ සියලුම භාෂා ලියන්නේ රෝමන් අක්ෂරවලින්. ඉන්දුනීසියාව පාලනය කළ ලන්දේසීන් ඒ භාෂා විනාශ කළා. ඉන්දුනීසියාවෙත් පරම්පරා තුනක සාමාජිකයින්ට එකිනෙකා කියන දේ නොවැටහීම බරපතළ ප්‍රශ්නයක්. මොකද, වචන උච්ඡ‍ාරණය කළාට ශබ්දය නිවැරදිව ප්‍රකාශ වෙන්නේ නැහැ. අද ඒ භාෂාවන්ගේ පැරණි අක්ෂර සොයාගෙන ඒ පැරණි අක්ෂරමාලා නැවත ගොඩනගන්න ඒ රටේ කණ්ඩායම් උත්සාහ කරනවා.


මැලේසියාවෙත් මේ විනාශය වුණා. මැලේසියාවේ 'මැලාවෝ' භාෂාව අද ලියන්නේ රෝමන් අක්ෂරවලින්. මැලාවෝ භාෂාවත් අරාබි භාෂවට සමාන භාෂාවක්. මේ භාෂාව රෝමන් අක්ෂරවලින් ලියන්නට පටන්ගත් හැටියේම ප්‍රශ්නය මතු වෙනවා. දැන් මැලාවෝ භාෂාව නිවැරදිව ශබ්ද නගා කියවන්නට බැහැ. ලියන දේ නිසි පරිදි කියවන්නට බැහැ.


ප්‍රංශ, ස්පාඤ්ඤ, ලන්දේසි අධිරාජ්‍ය මේ කලාපයේ රටවල භාෂාවන්ට මෙහෙම කළේ අැයි? අැත්තටම ඔවුන්ගේ මූලික පරමාර්ථයක් වුණේ ඔවුන්ගේ කතෝලික අාගම ප්‍රචාරය කිරීම. ඒ් අාගම් ප්‍රචාරයේදී ඔවුන්ට මතුවුණු ගැටලුවක් තමයි, කලාපය තුළ අාගම ප්‍රචාරය සඳහා අවශ්‍ය වන භාෂාවේ ගැටලුව. මේ නිසා ඔවුන් මේ කලාපයේ භාෂාවල ශබ්ද රෝමන් අක්ෂර මාලාවෙන් ලිවීම සඳහා කටයුතු කළා. ඒ් ඒ් භාෂාවලට අනන්‍ය අක්ෂරමාලා විනාශ කළා.


නමුත් මේ දෙය, අපේ කලාපයේ ඉන්දියාවේ, බංග්ලාදේශයේ සහ අපේ රටේ කරගන්නට අධිරාජ්‍යවාදීන්ට හැකි වුණේ නැහැ. ඊට හේතුව වුණේ මේ රටවල ජනතාව තමන්ගේකම රැකගත්තේ තමන්ගේ භාෂාවෙන්. ලනදේසීන් ඉන්දියාවට ගොස් වංග භාෂාව රෝමන් අක්ෂරවලින් ලියන්නට පටන්ගත් නමුත්, ඊට එරෙහිව අැති වුණු මහා කැරලි කෝලාහල තත්ත්වයන් නිසා ඔවුන්ට එය නවතා දමන්නට සිදු වුණා. ලංකාවේදීත් ඒ දෙයම වුණා. ඒ නිසා ඒක අතකින් ඉන්දියාවේ හා ලංකාවේ ජනතාවට අාඩම්බර වෙන්නට ඕන. දකුණු අාසියානු කලාපය තුළ මුලින්ම ලංකාවට තමයි මුද්‍රණ යන්ත්‍රය හඳුන්වා දුන්නේ. සිංහල අක්ෂර සහිතව මුද්‍රණ යන්ත්‍රය මුලින්ම ලංකාවට හඳුන්වා දෙන්නට ලන්දේසීන්ට සිදු වුණේ අැයි? සිංහල භාෂාව විනාශ කිරීමට එරෙහිව සිංහල උගතුන් නැගී සිටීමේ ප්‍රබලකමේ ප්‍රතිඵලයක් ලෙසයි, ඔවුන් ඉංග්‍රීසි අක්ෂර සහිත මුද්‍රණ යන්ත්‍රයට පෙර ඒ් මුද්‍රණ යන්ත්‍රයට සිංහල භාෂාව අැතුළත් කර ලංකාවට එවුවේ. මේ නිසා 1737දී ප්‍රථම සිංහල පොත මුද්‍රණය කෙරුණා.


සිංහල පොතක් එලෙස එළි දුටුවත් එක අතකින් භාෂාව විනාශ කරන එක පැත්තක් තමයි මුද්‍රණ කර්මාන්තය. (අද එය තාක්ෂණයෙන් සිදු කරනවා.) මොකද ඔවුන්ගේ මුද්‍රණ යන්ත්‍රවලට සිංහල භාෂාව එතරම් වැදගත් දෙයක් නොවෙයි. ජර්මන් ජාතිකයින් තමන්ගේ හයිඩ්ල්බර්ග් මුද්‍රණ යන්ත්‍රය නිෂ්පාදනය කළේ 1876 දි. එහි සිංහල අක්ෂර තිබුණා. එපමණක් නෙවෙයි අාසියාවේ විවිධ භාෂා 29ක අක්ෂර එහි තිබුණා. ජර්මන් ජාතිකයින්ගේ බලපෑම ලංකාවට ඉතාම අඩුවෙන් තිබුණු නිසා ඒ මුද්‍රණ යන්ත්‍ර ලංකාවට අාවේ නැහැ. අපට මුද්‍රණ යන්ත්‍ර අා‍ව්‍ෙ එංගලන්තයෙන්. නැතිනම් අැමරිකාවෙන්. ඒවායේ සිංහල භාෂාව තිබුණේ නැහැ. අපේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අැමරිකන් මුද්‍රණ යන්ත්‍රයකට ස‍ිංහල භාෂාව මුලින්ම අැතුළත් කළේ 1964දි. අැ‍යි එතරම් ප්‍රමාද කළේ? ඔවුන්ට එය එතරම් වැදගත් දෙයක් නොවූ නිසයි. නමුත් වෙනත් සමාගම් එය කළා.


ඉතිං කෙසේ වෙතත්, අපේ රටවලට අා බලපෑම් බොහෝ දුරට වළක්වා ගන්නට අපට හැකි වුණා. නමුත් එදා එහෙම වුනත් මෑතක තත්ත්වය ඊට වඩා හුඟක් වෙනස්. කිසිවකුටත් නොතේරෙන අාකාරයට අපේ රටේ භාෂා විනාශයක් සිදු වෙමින් පවතිනවා. ඒ සඳහා පළමු අඩිතාලම වැටුණේ පසුගිය අසූගණන්වල මුල සිට, ලෝකයේ පුද්ගල පරිගණකය නිෂ්පාදනය කළාට පසුවයි. අසූ ගණන්වල මුල සිට එය ව්‍යාප්ත වෙන්නට පටන්ගත්තා. මේ පරිගණක යන්‍ත්‍රය ලොව පුරා රටවල පැතිරුණේ ඒ ඒ රටේ භාෂාවෙන් නෙවෙයි. ඔවුන්ගේ භාෂාව වන ඉංග්‍රීසි භාෂාවෙන් තමයි පරිගණකය අප අතට ලබා දුන්නේ. ඒ තුළින් අපට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාව භාවිත කළ යුතු තත්ත්වයට පොළඹවනු ලැබුවා.

සම්මත සිංහලය සඳහා සටන

එලෙස පුද්ගල පරිගණකය ව්‍යාප්ත වුණාට පසුව ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය (International Standerd Organization) ලෝකයේ තිබෙන භාෂා 232ක් තෝරාගෙන ඒවායේ අක්ෂරමාලා සම්බන්ධ සම්මතයක් අැති කරගන්නට කටයුතු යෙදුවා. සිංහල භාෂාවත් ඒ භාෂා අතරට අයත් වුණා. 1989 දි ඒ ISO අායතනය අපේ රටට වාර්තාවක් එවමින්, ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව ජාත්‍යන්තර වශයෙන් සම්ම්ත භාෂාවක් ලෙස පිළිගත් බවත්, ඒ අනුව සම්මත සිංහල අක්ෂරමාලාව මෙය බවත් සඳහන් කරමින් සිංහල අක්ෂරමාලාවක් දක්වා තිබුණා. නමුත් අපේ සිංහල භාෂාවේ අක්ෂරමාලාව පිළිබඳ සම්මතය සකස් කිරීමේදී ශ්‍රී ලංකා රජ‍‍යේ නියෝජිතයකු හෝ සිංහලයකු හෝ සහභාගී කරගෙන තිබුණේ නැහැ. ISO එතැනදි කර තිබුණේ මහා තක්කඩිකමක්. ඊට තිදෙනෙක් හවුල් වී තිබුණා. ඒ, අයර්ලන්ත‍යේ මයිකල් එවර්සන්, එංගලන්තයේ මැක්මිලන් රෝස් සහ අැමරිකාවේ මයික්‍රොසොෆ්ට් සමාගමේ නියෝජිතයා. ඔවුන් තමන්ගේ හිතුමතයට, තමන්ගේ අවශ්‍යතාවලට අනුව සිංහල අක්ෂරමාලාවේ සම්මතය සකස් කර තිබුණා. අපේ රටේ පරිගණක තාක්ෂණ සභාව වෙත එවා තිබූ මේ වාර්තාව, එවක එහි සභාපතිවරයා වූ මහාචාර්ය වී.කේ. සමරනායක මහතා මට පෙන්වූවා.


එහි තිබූ සිංහලය අපි භාවිත කරන සිංහලය නෙවෙයි. අැයි මම එහෙම කියන්නේ ? ඔවුන් හිතාගෙන හිටියේ සිංහල භාෂාව, වැදගැම්මකට නැති කොහේද මුල්ලක තිබෙන භාෂාවක් කියලා. එහෙම හිතලා, මහා ප්‍රබල භාෂාවක් විදියට අාසියාකරයේ තිබෙන දේවනාගරී භාෂාව අරගෙන ඊට අනුව තමයි අපේ සිංහල භාෂාවේ සම්ම්ත අක්ෂර මාලාව සකස් කර තිබුණේ. ඒ සකස් කර තිබූ අක්ෂරමාලාවේ 'අැ', 'අෑ' සහ සඤ්ඤක අක්ෂර පහ අැතුළත් කර නැහැ. තවත් වැරදි ගොඩක් තිබුණා. අපේ ඉතිහාස පොත්වල තිබෙනවා, අපට තිබුණු අපේම ඉලක්කම් දහය. ඒ ඉලක්කම් දහයත් ඔවුන් සම්මතයට අැතුළත් කර තිබුණා.ඒ සියල්ලම අරගෙන තිබුණේ මෙන්ඩිස් ගුණසේකර මහතා 1891 පළකළ ව්‍යාකරණ පොතකින්. නමුත් ඒ ඉලක්කම් අරගෙන අපට මොනවද කරන්න පුළුවන්? ඒවා එකතු කිරීම්, අඩු කිරීම්, වැඩිකිරීම්, බෙදීම් කරන්නට බැරි රූප කිහිපයක් පමණයි. මෙහෙම ඒවාත් අැතුළත් කරලයි, ඔවුන් අපට සම්මත අක්ෂර මාලාව හැදුවේ.

අපි වහාම, සිංහල අක්ෂරමාලාවේ සම්මතය අැතුළත් මෙම වාර්තාව වැරදි බවත් ඒ නිසා එම වාර්තාව අවලංගු කළ යුතු බවත් අප ලබාදෙන අක්ෂර මාලාව සම්මතය ලෙස පිළිගත යුතු බවත් ISO වෙත ලිඛිතව දන්වා සිටියා. ISO අායතනයට සම්මතයක් පිහිටුවූවාට පසුව එය ඉවත් කරන්නට හෝ එහි වෙනසක් කරන්නට බැහැ. නමුත් මුල්ම වතාවට ඒ අායතනය, අපගේ ඉල්ලීම අනුව එම වාර්තාව ඉවත් කළා. ඒ වගේම ජාත්‍යන්තර සම්මතය සඳහා අපේ අක්ෂරමාලාව ලබාදෙන ලෙසත් දන්වා සිටියා. 24 දෙනකුගේ විද්වත් මණ්ඩලයක සහභාගීත්වයෙන් 1989දි අපි සම්මත සිංහල අක්ෂරමාලාව සකස් කරන්නට පටන්ගත්තා. අපේ සම්මත අක්ෂර මේවාය කියා ඒකඟතාවයකට එන්නට මෙම විද්වත් මණ්ඩලය අවුරුදු 5ක් පමණ කාලයක් වාද කළා. මේ කණ්ඩායමේ සිටි ඒක් මහාචාර්යවරයෙක් සම්මත සිංහල අක්ෂර මාලාවට 'ඥ' අක්ෂරය අැතුළත් කිරීමට එරෙහිව අවුරුදු 5ක් පමණ වාද කළා. අන්තිමේ ඔහු පිළිගත්තා 'ඥ' අක්ෂරය අැතුළත් කළාට කමක් නැහැ කියලා. බ‍ලන්න, අපේ සමහර විද්වතුන්ගේ හැටි. ඒ අක්ෂරය මුලදිම අපේ අක්ෂරමාලාවට අැතුළත් කළානම් මොකද? තවත් අ‍කුරක් තිබීම අපට අාඩම්බරයක්නෙ. කොහාම වුනත් ඒ ප්‍රශ්න නිසා 1997දි තමයි සිංහල අක්ෂරමාලා සම්මතය අැතුළත් අපේ වාර්තාව ISO අායතනය වෙත ඉදිරිපත් කළේ.


මේ සම්බන්ධව ග්‍රීසියේ ක්‍රීට් දිවයිනේ පැවැත්වුණු සාකච්ඡාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාත්, මමත් සහභාගී වුණා. කලින් අර තක්කඩි වැඩේ කළ පුද්ගලයින් තිදෙනා මෙතැනදිත් ඔවුන්ගේ පැරණි වාර්තා තුන නැවත ඉදිරිපත් කළා. මෙම වාර්තා තුන සහ අපේ වාර්තාව සම්බන්ධ සාකච්ඡාව ලොකු වාද විවාද කරන අවස්ථාවක් බවට පත් වුණා. මේ නිසා ඒ සාකච්ඡාව මෙහෙයවූ සභාපතිවරයා, මේ ප්‍රශ්නය මෙලෙස විසඳිය නොහැකි බවත් පිරිස වෙනම සාකච්ඡා කර විසඳාගෙන නැවත එන ලෙසත් කියා සිටියා. පසුව රාත්‍රියේ නැවත සාකච්ඡාව පටන්ගත්තා, කුමන අක්ෂරමාලාවද පිළිගන්නේ කියන ඒක ගැන. අයර්ලන්තයේ මයිකල් එවර්සන් නමැති පුද්ගලයා, අප ඉදිරිපත් කළ අක්ෂරමාලාව නිවැරදියි කියල කොහොමවත් පිළිගන්නේ නැහැ. ඔහු අාසියානු භාෂා ගැන දන්නවා. ඒ වගේම ඔහු මුද්‍රණ කර්මාන්තකරුවෙක්. ඔහු විවිධ භාෂාවලින් පොත් මුද්‍රණය කරනවා. ඒ නිසා ඔහුට අවශ්‍ය ඔහුගේ මුද්‍රණ යන්ත්‍රයේ තිබෙන විදියට, ඊට ගැලපෙන ලෙස අනෙකුත් රටවල භාෂාවන්ගේ අක්ෂරමාලා සකස්කරගන්න. අපි අපේ අක්ෂරමාලාව ගැන කෙතරම් අදහස් දැක්වුවත් ඔවුන් පිළිගත්තේම නැහැ. අන්තිමේ මමයි, ජේ.බී. දිසානායක මහත්තයයි '' උඹලා අපේ වාර්තාව පිළිගන්නේ නැත්නම් අපි මේක අරගෙන යනවා, උඹල ඕන දෙයක් කරගනිල්ලා'' කියල එතැනින් නැගිට එන්නට සූදානම් වුණා. මේ සිදුවීම බලාගෙන සිටි ජපානයේ නියෝජිත පිරිස අප වෙනුවෙන් පෙනී සිටියා එතැනදි. ජපාන නියෝජිත පිරිසේ 'සතෝ' නමැති මහත්මයා කිවුවා, ''එහෙම කරන්න දෙන්න බැහැ.මේක ශ්‍රී ලංකා රජයෙන් එවූ නියෝජිතයින් දෙදෙනකුගේ වාර්තාව. ඒ නිසා අප මේ වාර්තාව පිළිගත යුතුයි'' කියලා. ජපානය ISOහි ප්‍රබල සාමාජිකයෙක්. ජපානය එතැනදි අපේ රට වෙනුවෙන් තමන්ගේ නිශේධ බලය පාවිච්චි කළා. ඒ වගේම ඔහු කිවුවා, ''ශ්‍රී ලංකාවේ නියෝජිතයින් දෙදෙනා කැමතිනම් පමණක් ඔවුන් ඉදිරිපත් කළ වාර්තාවේ වෙනස්කම් කළ හැකියි'' කියලා. ඔන්න ඊට පස්සේ අපූරු දේවල් වෙනවා. අර පුද්ගලයින් තිදෙනා අපේ වාර්තාවේ කළ යුතු වෙනස්කම් ඉදිරිපත් කරනවා. ඔවුන් අපට කියනවා, ''අපි යෝජනා කරන අලුත් අකුරු තුනක් උඹලාගේ අක්ෂරමාලාවට අැතුළත් කරගනිල්ලා'' කියලා. ඔවුන් ඒ විදියට අලුත් අකුරු තුනක් ඉදිරිපත් කරන්නට පදනම් කරගෙන තිබුනේ දෙමළ භාෂාව. දෙමළ භාෂාවේ අක්ෂරමාලාවත්, සිංහල අක්ෂරමාලාවත් ගලපන විට, දෙමළ භාෂාවේ තිබෙනවා 'ර' යනු දෙකක්. නමුත් සිංහලයේ එකයි. දෙමළ භාෂවේ තිබෙනවා 'ල' යනු තුනක්. නමුත් සිංහලයේ දෙකයි. දෙමළ භාෂාවේ තිබෙනවා 'ව' යනු දෙකක්. සිංහලයේ ඒකයි. ඉතිං අර අයර්ලන්තයේ පුද්ගලයාගේ මුද්‍රණ යන්ත්‍රයේ තිබෙනවානෙ දෙමළ භාෂාවෙ අක්ෂරමාලාව. ඒ නිසා දැන් ඔවුන්ට ඕන සිංහල අක්ෂරමාලාවටත් එවැනි අක්ෂර තුනක්. ඒ අනුව ඔවුන් ඉදිරිපත් කළ අක්ෂර තුන විදියට 'ර' , 'ව' , 'ල' යන අක්ෂර තුන යටින් තිතක් තබා තමයි ඒ අලුත් අකුරු තුන සකස් කර තිබුණේ.

අපි මේ අක්ෂර පිළිගත්තේ නැහැ. අන්තිමේ ඡන්දයක් පැවැත්වූවා. ජපානය, ග්‍රීසිය හා කැනඩාව අප වෙනුවෙන් ඡන්දය දුන්නා. එංගලන්තය, අයර්ලන්තය සහ අැමරිකාව තමන් වෙනුවෙන් ඡන්දය දුන්නා. අපි ඒ ඡන්දයෙන් දිනුවා. ඉතිං කොහොම හරි, 1998දි තමයි සිංහල භාෂාවේ අක්ෂරමාලාව ISO විසින් ජාත්‍යන්තර සම්මතයට අැතුළත් කරනු ලැබුවේ.ජාත්‍යන්තර වශයෙන් සම්මත සිංහල අක්ෂරමාලාවේ අක්ෂර 61ක් තිබෙනවා. ඊට අමතරව ඉස්පිලි, පාපිලි, අැලපිලි, අැදපිලි අාදී අනෙකුත් රූප තිබෙනවා. ඒ අනුව අක්ෂර හා අනෙකුත් රූප යන සියල්ලම 80ක් ජාත්‍යන්තර වශයෙන් සම්මත සිංහලයේ තිබෙනවා. ලෝකයේ තිබෙන භාෂා අතරින් වැඩිම ස්වර හා ව්‍යංජන සංඛ්‍යාවක් තිබෙන භාෂාව සිංහල භාෂාවයි.

සිංහලය පරිගණකයට

මේ විදියට සම්මතය සකස් කරගත්තාට පසුව, ඊළඟ ප්‍රශ්නය වුනේ සිංහල භාෂාව පරිගණකයට අැතුළු කර ගැනීම. මේ කාරණය මයික්‍රොසොෆ්ට් සමාගම සමග සාකච්ඡා කළාම ඔවුන් අපෙන් අැහුවේ 'අපි උඹලගේ රටේ පරිගණකවලට සිංහල භාෂාව මෙහෙයුම් පද්ධතියක් සමග ලබාදෙන්නම්. හැබැයි උඹලගෙ රටේ අවුරුද්දකට කොච්චර මෙහෙයුම් පද්ධති විකුණන්න පුලුවන්ද ' කියලයි. මේ 1998දි අැසූ ප්‍රශ්නයක්. 1998 වන විට මං හිතන්නේ අපේ රටේම පරිගණක 1000-2000ක් විතරනෙ තිබුනෙ. ඒ නිසා මම කිවුවා අවුරුද්දකට 1000ක් විතර තමයි විකුණන්නට පුළුවන් වෙන්නේ කියලා. ඒතකොට මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ලැබුණු උත්තරේ තමයි ''1000කට විතර නම් අපි කරන්නේ කොහොමද? පුළුවන් නම් ලංකාවෙන් කණ්ඩායමක් මයික්‍රොසොෆ්ට් සමාගමට එවල සකස් කර ගන්න. ඔවුන් උපදෙස් දෙන්නම්'' කියලා. නමුත් එවැනි කණ්ඩායමක් යවන්න ශ්‍රී ලංකා අාණ්ඩුවට ශක්තියක් තිබුනේ නැහැ. ඒත් ඒ වෙලාවෙ අපේ වියදමෙන් හෝ මයික්‍රොසොෆ්ට් සමාගමට ගියානම් අපි අද මෙවැන‍ි තත්ත්වයකට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අවාසනාවකට අදත් අපට සිංහල සහිත නිවැරදි ක්‍රමානුකූල මෙහෙයුම් පද්ධතියක් නැහැ. හැබැයි විවිධ ක්‍රමවලින් අපි ඒ කාර්යය කරනවා.


මෙවැනි තත්ත්වයකදී තායිලන්තය ගත් පියවර හොඳ උදාහරණයක්. පුද්ගල පරිගණකය 1985 වෙළෙඳපොළට අාවාම, 1987දි තායිලන්ත අාණ්ඩුව නීතියක් ගෙන අාවා, 1989 සිට තායි භාෂාව නැතිව කිසිම පරිගණකයක් තායිලන්තය තුළ විකුණන්නට බැහැ කියලා. අැත්තටම තායිලන්තය වසර දෙකකදි එය කළා. කවුරුවත් නෙවෙයි තායිලන්ත ජාතිකයින්මයි ඒ කාර්යය කළේ. තායිලන්ත සරසවියක මහාචාර්යවරයකු හා ඔහුගේ පර්යේෂණ කණ්ඩායම තමයි ඒ කාර්යය කළේ. මටත් හොඳ අවස්ථාවක් ලැබුණා ඒ කණ්ඩායම සමග වැඩ කරන්න. එතැනදි මා ලැබූ අත්දැකීම්වලින් තමයි මම සිංහලත් මේ විදියට පරිගණකවලට අැතුළත් කළේ. ඉතිං අද තායිලන්තයේ සෑම පරිගණකයකම තායි භාෂාව තිබෙනවා. ඔවුන්ගේ භාෂාව විනාශ වුනෙත් නැහැ. ISO අායතනයට ඔලුව නැවුවෙත් නැහැ. මයික්‍රොසොෆ්ට් සමාගම කියූ දේවල් අැහුවෙත් නැහැ.


ඉතිං අපි අපේ භාෂාව ගැන මීට වඩා සිතන්නට අවශ්‍යයි. නැතිනම් අපි ලොකු විනාශයකට අැද වැටෙනවා. වැටුනට පස්සේ උත්තර නැහැ.


2 comments:

  1. අපූරුයි. හිතට දැනුනු ලිපියක්. ලංකාවේ බොහෝ පිරිසකට අපේ භාෂාව වටින්නේ නැති වීම අභාග්‍යයක්. ඒත් අපේ සිංහල කොතරම් මිහිරිද? ඉදිරියටත් මෙවැනි වටිනා ලිපි බලාපොරොත්තු වෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද. ඉදිරියේදී තව කිහිපයක් ලියන්නම්.

      Delete