Wednesday, June 29, 2016

භාෂා : අභාවය සහ ඝාතනය





මිනිස් සමාජය මුහුණ පා තිබෙන අර්බුද, තර්ජන සම්බන්ධ කතිකාවන් අපට නිරන්තරව අසන්නට දකින්නට ලැබෙන නමුත් එම කතිකාව තුළ එතරම් හෝ කොහෙත්ම හෝ අවධානයට ලක් නොවන කාරණයක් තිබේ. එනම් වර්තමාන ලෝකය තුළ භාෂා මුහුණ පා තිබෙන තර්ජනයයි. හෙවත් භාෂා අභාවයට යාමයි. භාෂා අභාවයට යාම එතරම් අවධානයට ලක් නොවී ඇත්තේ එය අභාවයට යාම නිසා මිනිස් සමාජයට වන අහිතකර බලපෑම සුලුපටු නිසා යැයි සිතිය නොහැකිය. භාෂා හමුවේ වන මේ අනතුර සම්බන්ධ පළල්, ලෝක මට්ටමේ ප්‍රබල කතිකාවක් ගොඩ නැඟී නැත්තේ වර්තමාන ලෝකයේ ප්‍රබල ජාතීන් කිහිපය භාවිතයට ගන්නා භාෂාවන් හමුවෙහි එම තර්ජනය සැලකිය යුතු මට්ටමක නොවීමය. සහ ලෝකයේ අභාවයට යාමේ තර්ජනයට මුහුණ පා තිබෙන භාෂාවන්ට එම තර්ජනය එල්ල වී ඇත්තේ අධිපති භාෂා වෙතින් වීමය. මේ අනුව ගත් විට වර්තමාන ලෝකයේ භාෂා අභාවයට යාම හුදු භාෂාව සම්බන්ධ කතිකාව ඉක්මවා ගොස් ලෝකයේ බල දේශපාලන ආධිපත්‍යය සම්බන්ධ දේශපාලන කතිකාවටද නියතයෙන්ම සම්බන්ධ වී පවතී. 'කුරියර්' සඟරාව ඇසුරින් මා විසින් ලියැවුණු මෙම ලිපිය මුල් වරට 'මුරගල' සඟරාවේ 2008 පෙබරවාරි කලාපයේ පළවිය. එහි අන්තර්ගත කාරණාවන්හි වැදගත්කම සලකා එය මෙසේ නැවත ඔබ වෙත ඉදිරිපත් කරන්නට සිතිණි.


මිනිස් සමාජ ඉතිහාසය තුළ භාෂා අභාවයට යාම අලුත් හෝ අමුතු දෙයක් නොවේ. මිනිස් සමාජයේ ඉපැරණි කාලයේ පටන්ම භාෂා නිර්මාණය වී, ඒ භාෂා මිනිස් ප්‍රජාවන් අතර භාවිතයට ගැනී ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් අභාවයට ගොස් තිබේ. එහෙත් වර්තමානයේ භාෂා අභාවයට යමින් ඇත්තේ පෙර නොවූ විරූ තරම් වේගයෙනි. එමෙන්ම නොවැළැක්විය හැකි ලෙස භාෂා අභාවයට යාම් මෙන්ම ඉතා සවිඥානිකව සැලසුම් සහගතව භාෂා ඝාතනය කිරීමේ ව්‍යාපෘතිද දියත්ව තිබෙන බව සත්‍යයකි. භාෂාවක් අභාවයට යාමක් යනු ඒ භාෂාව භාවිත කළ ජන ප්‍රජාවේ හුදු සන්නිවේදන මාධ්‍යය අභාවයට යාමක් පමණක් නොවේ. නියතයෙන්ම, ඒ භාෂාව මත පදනම්ව ඒ ජන ප්‍රජාව තුළ ගොඩනැගුණු සංස්කෘතිය, චින්තන සම්ප්‍රදාය, ඥාන සම්භාරය අභාවයට යාමක්ද වෙයි. මේ නිසා අප වැනි රටවල් මෙම තත්ත්වය වඩාත් බරපතළ ලෙස අවධානයට ගත යුතුව තිබේ. 

වර්තමාන ලෝකයේ භාවිත වන භාෂා 6000ක් පමණ තිබෙන අතර, ඉන් විශාල සංඛ්‍යාවක් නුදුරු අනාගතයේදී අභාවයට යාමට ඉඩ තිබෙන බව භාෂා සම්බන්ධ විශේෂඥයෝ පෙන්වා දෙති. ඔවුන් පෙන්වා දෙන ආකාරයට ලක්ෂයක(100,000) ජනතාවක්වත් කතා නොකරන භාෂාවකට නොනැසී පැවතිය නොහැකිය. මේ වන විට ලෝකයේ තිබෙන භාෂා හය දහසෙන් හරි අඩක පමණ භාෂා සංඛ්‍යාවක් කතා කරනුයේ ලක්ෂයකට වඩා අඩු ජන සංඛ්‍යාවන්ය. එමෙන්ම, භාෂාවලින් 1/4කට ආසන්න භාෂා සංඛ්‍යාවක් කතා කරනුයේ දහසකට (1000) වඩා අඩු ජන සංඛ්‍යාවන්ය. දස ලක්ෂ සංඛ්‍යාත ජන සංඛ්‍යාවක් කතා කරන භාෂා ඇත්තේ සුලු ගණනකි.

මානව සමාජයෙහි භාෂාව  නිර්මාණය නිර්මාණය වී එය විවිධ භාෂා ලෙස විවිධාංගීකරණයට ලක් වීමෙන් පසු එයින් අඩුම තරමින් භාෂා 30,000ක් පමණ බොහෝ විට කිසිදු සලකුණක් නොතබාම අභාවයට ගොස් තිබේ. භාෂාවන්ට බොහෝ විට, සාපේක්ෂව කෙටි ආයු කාලයක් හිමි වී ඇතිවා මතු නොව, ඒවායේ ශීඝ්‍ර අතුරුදන්වීමක්ද දැකිය හැකි බව විශේෂඥයෝ පවසති. බාස්ක්, ඊජිප්තු, ග්‍රීක, හීබෲ, ලතින්, පර්සියානු, සංස්කෘත, දෙමළ හා සිංහල ඇතුළු භාෂා කිහිපයක් පමණක් වසර දෙදහසකට වැඩි කාලයක් තිස්සේ සුරැකිව තිබේ.

යුරෝපයේ යටත් විජිතකරණය භාෂාමය විවිධත්වය බෙහෙවින් හීන කිරීමට බලපෑවේය. ඒ හේතුවෙන් එවක ව්‍යවහාරයට ගැනුණු භාෂා සියල්ලෙන්ම 15%ක් පමණ අතුරුදන්ව ගොස් තිබේ. පසුගිය වසර 500කට වැඩි කාලයක් තුළ යුරෝපයේ භාෂා දහ දොලොස් ගණනක් අභාවයට ගොස් තිබේ. 18 වන සියවස අග භාගයේදී ඕස්ට්‍රේලියාවේ භාවිත කෙරුණු භාෂා 250කින් නොනැසී  පැවතුණේ 20ක් පමණි. බ්‍රසීලයේ පැවති මුළු භාෂා සංඛ්‍යාවෙන් 3/4ක් එනම් භාෂා 540ක් අභාවයට ගොස් ඇත්තේ බ්‍රසීලය 1530දී පෘතුගාලයේ යටත් විජිතයක් බවට පත්වීමෙන් පසුවය. භාෂා තුරන්වීමේ වේගය ලොව පුරා වසරකට භාෂා 10ක් තරම්, පෙර නොවූ විරූ මට්ටමකට ළඟා වී තිබෙන බව විශේෂඥයින් පෙන්වා දී තිබේ. 

ලෝකයෙහි භාෂාමය උරුමය ව්‍යාප්ත වී තිබෙන්නේ ඉතා අසමාන ලෙසිනි.  Summer Institute of Linguistics ආයතනය විසින් කරනුලැබ ඇති අධ්‍යයනයන්ට අනුව ලෝකයේ වන භාෂා හය දහසෙන් 3%ක් පමණ යුරෝපා කලාපයේ භාවිත කෙරේ. 15%ක් ඇමරිකාවේද, 19%ක් ෆැසිපික් කලාපයේද, 30%ක් අප්‍රිකානු කලාපයේද, 32%ක් ආසියානු කලාපයේද භාවිත වේ. එමෙන්ම, භාෂාමය විවිධත්වය ජනගහණයට අනුරූපවද නොපවතී. භාෂා 96%ක්ම ව්‍යවහාරයට ගනු ලබන්නේ ලෝක ජනගහණයෙන් 4%ක් විසිනි. භාෂා 80%කට වඩා වැඩි ප්‍රමාණයක් ඒක දේශීය වේ. රටවල් කිහිපයකම දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් භාෂා 20ක් පමණක් කතා කරති.

Millenium Family Encyclopaedia ග්‍රන්ථයෙහි ඇස්තමේන්තු කර ඇති ආකාරයට, ලෝක ජන සංඛ්‍යාවෙන් හරි අඩක්ම එදිනෙදා ජීවිතයේදී පෘථිවි තලයේ වඩාත්ම ප්‍රචලිත භාෂාවලින් එකක් භාවිතයට ගනී. එනම්, චීන (බිලියන 1.2ක් කතා කරන), ඉංග්‍රීසි (මිලියන478), හින්දි (මිලියන 437), ස්පාඤ්ඤ (මිලියන 392), රුසියානු (මිලියන 284), අරාබි (මිලියන 225), පෘතුගීසි (මිලියන 184) හා ප්‍රංශ (මිලියන 125) වශයෙනි.

Summer Institute of Linguistics ආයතනය සහ Linguasphere Observatory ආයතනය මව්බසක් ලෙස භාෂාව කතා කරන්නන් සංඛ්‍යාව ‘දෙවන බසක්‘ වශයෙන් යොදා ගන්නා සංඛ්‍යාව එකතු කිරීමෙන් සංසන්දනාත්මක සංඛ්‍යා සපයා ඇත. මෙම අසංතුලනය හේතු කොට ගෙන, මෙම සියවස තුළ සියලුම ජීවමාන භාෂාවලින් 95%ක්ම අභාවයට යනු ඇති බවට විශේෂඥයෝ අනාවැකි පළ කරති. මෙම ලිපියේ ඉහත තැනක සඳහන් කළ පරිදි, වර්තමානයේ සෑම වසරක් පාසාම ලෝකයේ භාෂා 10ක් අතුරුදන් වන අතර, භාෂාමය විවිධත්වය අධික ලෙස පවත්නා ප්‍රදේශවල භාෂා තුරන්වීමේ වේගයද අධික බව හඳුනාගෙන තිබේ.

අප්‍රිකාවේ භාෂා 2000කට වැඩි සංඛ්‍යාවක ඇත්තේ ඒ එක් එක් භාෂාව කතා කරන්නන් 500 දෙනෙකුට වඩා අඩු සංඛ්‍යාවකි. විශේෂඥයින් පෙන්වා දෙන ආකාරයට භාෂාවක් ස්ථිරව නොනැසී පැවතීමට නම් අවම වශයෙන් ඒ භාෂාව කතා කරන්නන් 100,000ක් වත් සිටීම අත්‍යවශ්‍ය වේ. ලතින් ඇමරිකාවේ ඇමරි ඉන්දියානු භාෂා 500කින් 1/3ක් හා හරි අඩක් අතර සංඛ්‍යාවක් අනතුරට පාත්‍ර වී තිබෙන අතර, භාෂා අභාවයට යාමේ වැඩිම වේගයක් ඇත්තේ බ්‍රසීලයේ බවට අනාවැකි පළවී තිබේ. බ්‍රසීලයේ තිබෙන භාෂාවලින් බොහොමයක්ම කතා කරන්නේ කුඩා ප්‍රජාවන් බව හඳුනාගෙන තිබේ. 

ගිනිකොණදිග ආසියාවේ භාෂා එක එකක් සාපේක්ෂ වශයෙන් විශාල ජනතාවක් භාවිතයට ගනු ලබන අතර, එහි 600-700 දක්වා වූ භාෂා ගණනකින් 40ක් පමණ සංඛ්‍යාවක අනාගතය බොහෝ දුරට රඳා පවතිනුයේ රාජ්‍ය ප්‍රතිපත්තිය මතය. අනෙක් අතට, ඊසානදිග ආසියාවේ භාෂා 47ක් අතරින් රුසියානු බසට සාපේක්ෂව ඇත්තෙන්ම නොනැසී පැවතීමේ ඉඩකඩ ඇත්තේ භාෂා 06කට පමණි. ඉන් භාෂා 20ක්ම සහමුලින්ම වාගේ අභාවයට ගොස් තිබේ. භාෂා 8ක් බරපතළ ලෙස අනතුරට ලක්ව තිබෙන අතර, භාෂා 13ක් සාමාන්‍යයෙන් අනතුරට පාත්‍ර වී ඇත. මුල් භාෂා කාණ්ඩය වැඩිම වුවහොත් කතා කරන්නේ දහ දොලොස් දෙනෙකු පමණි. දෙවන කාණ්ඩයේ භාෂා පුළුල්ව භාවිතයට ගන්නා නමුත් එම භාෂා ළමුන්ට උගන්වනු නොලැබේ. තෙවන කාණ්ඩයට ඇතුළත් වන්නේ ඇතැම් ළමුන් භාවිත කරන නමුත් ක්‍රමයෙන් අඩු වශයෙන් භාවිතයට ගන්නා වූ භාෂාය.

යුරෝපයේ භාෂා 123ක් කතා කරනු ලබන අතර, එයින් භාෂා 9ක් බොහෝ දුරට අභාවයට ගොස් තිබේ. භාෂා 26ක් බරපතළ ලෙස අනතුරට ලක්ව ඇති අතර, භාෂා 38ක් තරමක් අනතුරට ලක්ව තිබෙන බව හඳුනාගෙන ඇත. 

විශේෂඥයින් සඳහන් කරන ආකාරයට අවදානම් තත්ත්වයෙහි පවතින්නේ හුදෙක් ලෝකයේ ප්‍රධාන භාෂාවල අනාගතය නොවේ. තුලාවෙහි තවත් පහළින් ඉන්දියාවේ සංස්ථාපිත භාෂා සහ රුසියානු ජාතිකයින්ගේ භාෂා වැනි භාෂා 100ක් පමණ රාජ්‍ය විසින් නිල වශයෙන් පිළිගනු ලැබ තිබේ. මෙම භාෂාවලට හිමි ස්ථානය රැක ගැනීමේ අයිතියක්ද තිබේ. තුලාවේ පතුළෙහි දේශීය, සුලු ජාතික,  ප්‍රජා, වාර්ගික යනුවෙන් විවිධාකාරයෙන් හැඳින්වෙන තත්ත්වයක් ලබා ගැනීමට පරිශ්‍රම දරන භාෂා දහස් ගණනක් තිබේ. මේ භාෂාවලින් බොහොමයක් නැති වී යාමේ තර්ජනයට ලක් වී තිබේ. මිලියන 300ක් ජනතාව මෙම භාෂා කතා කරති.

ලොව බලවත් ජාතීහු භාෂා විවිධත්වය සිය වෙළෙඳාමට හා දැනුම ව්‍යාප්ත වීමට බාධාවක් ලෙස හඳුන්වමින් ඒකභාෂීයත්වය (Monolingualism) පරමාදර්ශය බවට පත් කරන්නට උත්සාහ කරති. 19 වන සියවස අවසානයේ විශ්ව භාෂාවක් පිළිබඳ සංකල්පය පැන නැගුණු අතර, මෙයින් කෘත්‍රිම භාෂා රැසක් හට ගැනිණ. මෙහිදී ලතින් බස පවා සැලකිල්ලට ගනු ලැබිණි. කෙසේ වෙතත් එබඳු මුල් භාෂාව වොලපුක් (Volapuk) නම් වූ අතර, වැඩියෙන්ම පිළිගැනීමට ලක් වූත් වඩා දිගු කලක් නොනැසී පැවතියාවූත් භාෂාව එස්පරාන්ටෝ (Esperanto) නම් විය. මිනිස් සමාජය සමග ඓන්ද්‍රීය බැඳීමකින් තොර වූ කෘත්‍රිම භාෂාවල පැවැත්ම කොහොමත් අවිනිශ්චිතය.

ලෝකයේ භාෂා අභාවයට යාම සුලු කොට තැකිය හැකි කාරණයක් නොවේ. භාෂා අභාවයට යාමෙන් ඇති වූ ප්‍රතිවිපාක හේතු ගණනාවක්ම නිසා බරපතළ වී තිබේ. පළමුව අප සියලු දෙනාම එකම භාෂාවක් කතා කිරීමට එක් වුවහොත් අපගේ ඥානයෙහි භාෂාමය නවෝත්පාදනය උදෙසා වන හැකියාව හීන වී යාම නිසැකවම සිදුවේ. එමෙන්ම අප හට මිනිස් භාෂාවේ ප්‍රභවයන් හඳුනාගැනීමට හෝ මුල් භාෂාව පිළිබඳ අභිරහස අනාවරණය කරගැනීමට කිසිසේත්ම නොහැකි වනු ඇත. වඩාත්ම බරපතළ කාරණය නම් එක් එක් භාෂාව අභාවයට යාමත් සමග මානව ඉතිහාසයේ එක් පරිච්ඡේදයක්ද ඒ සමග නිමාවට පත් වීමයි.

බහු භාෂීයත්වය වූ කලී බහු සංස්කෘතිකත්වයේ වඩාත්ම නිවැරදි පිළිබිඹුවකි. මෙහි මුල් ලක්ෂණය එනම්, බහු භාෂීයත්වය විනාශ වීම හේතුවෙන් නියත වශයෙන්ම, දෙවැන්න එනම් බහු සංස්කෘතිකත්වය නැති වී යාමට මඟ පෑදෙයි. ජනතාවගේ සංස්කෘතිය හා ජීවන පැවැත්ම සමග සබඳතාවලින් තොර වූ භාෂාවක් යොදා ගැනීමෙන් ඔවුන්ගේ සාමූහික බුද්ධි ප්‍රභවයේ ප්‍රකාශන ශක්තිය මොට වී යයි. භාෂාව වනාහී මානව සන්නිවේදනයේ ප්‍රධාන මෙවලම වනවා පමණක් නොව, එමගින් එම භාෂාව කතා කරන ජන කොටසේ ලෝක දෘෂ්ටියත් ඔවුන්ගේ පරිකල්පනය හා දැනුම භාවිතයට ගන්නා ක්‍රමවේදයනුත් ප්‍රකාශ වේ.

එක් එක් භාෂාව විසින් කෙතරම් විවිධාකාර ලෙස ලෝකය පිළිබිඹු කරනු ලබන්නේදැයි අවබෝධ කර ගැනීමට නම් එකම නිශ්චිත අරුතක් සහිතව සෑම භාෂාවකම මතුවන වචන යමකු ලයිස්තු ගත කළ යුතුය. එබඳු වචන නම් මම, ඔබ, කවුරුන්ද, කුමක්ද, නැත, සියල්ලන්ම, එකකු, දෙදෙනකු, විශාල, දිගු, කුඩා, ස්ත්‍රිය, පුරුෂයා, කනවා, බලනවා, අහනවා, හිරු, සඳු, තාරකාව, ජලය, උෂ්ණය, සීතල, සුදු කළු, රාත්‍රිය, භූමිය යන මේවාය. වැඩිම වුවහොත් වචන 300ක් පමණ එයට ඇතුළත් වේ. 

බහු භාෂීයත්වයට එල්ල වී තිබෙන තර්ජනය, හුදෙක් ජෛව විවිධත්වයට එල්ල වී තිබෙන තර්ජනයට සමානය. ඊට හේතුව බොහෝ භාෂා අභාවයට යන සුලු ප්‍රභේදයක් නිසා නොව, ජෛව විවිධත්වය හා සංස්කෘතික විවිධත්වය අතර නෛසර්ගික හා තාර්කිකි සම්බන්ධතාවක් පැවතීමය. ශාක හා සත්ත්ව විශේෂ මෙන් අනතුරට පත් භාෂා කුඩා ප්‍රදේශවලට සීමා වී තිබේ. ජෛව විවිධත්වයෙන් යුතු රටවල්වලින් 80%ක්ම ඒක දේශික භාෂා විශාල සංඛ්‍යාවක් සහිත ප්‍රදේශ වේ. මීට හේතුව නම්, ජනයා සිය පරිහරණයට හුරු වූ කල ඔවුන්ගේ භාෂාවේ පිළිබිඹු කොට දැක්වෙන හා බොහෝ විට එහිම රැඳී පවත්නා විශේෂ, ආවේණික දැනුම් පද්ධතියක් නිර්මාණය වීමයි. ලෝකයේ අනතුරට පත් ශාක හා සත්ත්ව විශේෂ බොහොමයක්ම පිළිබඳව මෙකල දැන සිටින්නේ අභාවයට යමින් තිබෙන භාෂා ව්‍යවහාර කරමින් සිටින ජන කොටස් පමණි. ඔවුන් මරණයට පත් වීමත් සමග පරිසරය පිළිබඳ සාම්ප්‍රදායික දැනුමද ඔවුහු රැගෙන යති.

‘‘බලවත් රාජ්‍යවල යුද, රාජ්‍ය තාන්ත්‍රික, දේශපාලන හා ආර්ථික උපාය මාර්ග අධ්‍යයනය කොට ඒවා විවේචනය කළ හැකිය. එහෙත් බලවත් රාජ්‍යයන්ගේ භාෂාමය උපාය මාර්ග අප්‍රකට, නිහඬ එසේම ‍නිර්දෝෂී හෝ නොපවත්නා දෙයක් විය හැකි බව පෙනේ. පසුගිය සියවසේ ඉතිහාසය බොහෝ රාජ්‍යවලට භාෂාව කෙරෙහි වඩා මධ්‍යස්ථ ආකල්පයක් දැරීමට අනුග්‍රහ දක්වා තිබේ. එහෙත් එය ඔවුනට එක් භාෂාවක් විසින් දරනු ලබන ආධිපත්‍යයට යටත් නොවී සිටීමට උගන්වා තිබේද? ඉංග්‍රීසි භාෂාව දැනට ලොව පැතිරුණු සන්නිවේදන මාධ්‍යය ලෙස ඒකාධිකාරයක් ඇති කරගෙන ඇති බව පෙනේ.'' යැයි රෝලන්ඩ් ජේ.එල්. බ්‍රෙටන් සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට, ''... සමහරු අනාවැකි පළ කරන පරිදි සුලු භාෂා විනාශ වනු ඇත්ද? එසේ වනු ඇත. භාෂාවක් විනාශ කිරීමට ඇති හොඳම මාර්ගය තවත් භාෂාවක් ඉගැන්වීම බැවිනි. අධ්‍යාපනය කෙරෙහි ජාතික භාෂා 100ක් පමණ දක්වන ඒකාධිකාරය පාසල්වල උගන්වනු නොලබන භාෂා නිවසට හා ජනශ්‍රැතියට සීමා වී අවසානයේදී සංස්කෘතික පරිසර පෝෂණය කිරීමේ කාර්යයෙන් ඉවතට යනු ඇත. අන්තර්ජාතිකව හෝ එසේ නැතිව හෝ කරගෙන යන්නා වූ භාෂා විනාශය හෙවත් 'භාෂා ඝාතනය' වාර්ගික විනාශයේදීත් මිනිසුන් අවසංස්කෘතිකකරණය කිරීමේදීත් යොදාගන්නා මූලික උපකරණ අතුරෙන් එකක් වේ. අවසංස්කෘතිකකරණය නිසා සැමවිටම වැරදි ක්‍රියාවක් වී ඇත. එය තවමත් රාජ්‍ය දේශීය, වාර්ගික සුලු ජාතීන්ගේ අයිතිවාසිකම් හඳුනා නොගන්නා  අර්ධ නිලමය අරමුණ ද වේ. අධ්‍යාපන පද්ධතියෙන් දේශීය භාෂා වැඩි වැඩියෙන් ඉවත්ව යාම නිසා 'භාෂා ඝාතනය වේගවත්ව සිදුවෙයි. විසි එක්වන සියවසේ භාෂා පිළිබඳ ප්‍රශ්නය ගැටලු දෙකක් මතු කරයි. පුළුල් ලෙස භාවිත කරන භාෂා හෝ ජාතික භාෂා, ඉංග්‍රීසි භාෂාව විසින් පැහැරගනු ලැබීම දරා සිටින්නේ කෙසේද? විනාශ වී යාමේ උවදුරට ලක්ව ඇති සුළු ජාතීන්ගේ භාෂා ආරක්ෂා කරගෙන සංවර්ධනය කරා ප්‍රවේශ වන්නේ කෙසේද?''

භාෂාවක ඉරණම අවසානයේ එය භාවිතයට ගන්නන් සමග ඇති සබැඳියාව මත රඳා පවතී. ඇලස්කාවේ ජනශ්‍රැති ඉතිහාසඥයින් වන නෝරා මාක්ස් ‍ඩොවන්හුවර් සහ රිචඩ් ඩොවන්හුවර් මෙසේ පවසති.

''ආරක්ෂා කිරීම යනු ජෑම් බරණිවල ඇසිරූ පළතුරුවලටත් ටින්වල ඇසිරූ සැමන් මත්ස්‍යයින්ටත් අප කරන දේය. පොත්වලට හා තැටිගත කළ ලේඛනවලට භාෂා ආරක්ෂා කළ හැකිය. එහෙත් ඒවා ජීවමානව පවත්වාගත හැක්කේ ජනතාවට හා ප්‍රජා සමූහවලට පමණි.''



No comments:

Post a Comment