Sunday, June 26, 2016

සෑම කෙන‍ෙකුටම කතාවක් තිබේ : පුවත්පත්කලාවෙන් බ්ල‍ොග්කලාවට මගේ සම්ප්‍රාප්තිය




පුවත්පත්කලා ජීවිතයෙන් සමුගෙන වසර 5-6ක් විතර ගතවෙලා. ආපසු හැරී බලද්දී දැනෙන දේවල් බොහොමයි. ගම්පහ, බණ්ඩාරනායක විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ පටන්ම පුවත්පත් කලාව ගැන මගේ හිතේ තිබු‍ණේ දැඩි කැමැත්තක්. පාසලේ නිර්මාණ පර්ෂදයේ බිත්ති පුවත්පතේ, ‘සිල්ප දෙනුමැයි‘ සඟරාවේ ලිපි නිර්මාණ පළ වු‍ණේ ඒ නොනිමි කැමැත්තේ ප්‍රතිඵලයක් විදියට. 



1992 මාර්තු 07වැනිදා පළමුවරට මිලදී ගත් ‘ලක්දිව‘ පුවත්පත ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වේවි කියල හිතුණෙ නැහැ. නමුත් ‘ලක්දිව‘ හා ‘හිරු‘ පුවත්පත් කියැවීමෙන් පුවත්පත්කලාව ගැන උපන් සිහිනයට පියාපත් ලැබු‍ණේ දයාසේන ගුණසිංහ මහතා විසින් සංස්කරණය කළ ‘සිව්දෙස‘ සඟරාවට ලියන්නට ලැබීමත් සමග. පාසල් අධ්‍යාපනය හමාර වෙන ආසන්න කාලයේ තමයි ‘සිතිජය‘ සඟරාවත් සමග ගනුදෙනුව ඇරඹුණේ. ඒ 1996 අප්‍රේල් මාසෙ දවසක, ගම්පහ පත්තර තට්ටුවක තිබී ‘සිතිජය‘ නමැති අලුත් සඟරාවක් අහම්බෙන් අතට ගැනීමත් සමග. ‘සිතිජයේදි‘ තමයි පුවත්පත්කලාවේ පාඩම් බොහොමයක් ඉගෙන ගත්තේ. කැලුම් කුමාර පෙරේරා, ප්‍රභාත් තේනුවර, චන්දිමා නිශ්ශංක, තිස්ස නිහාල් වික්‍රමසිංහ, චන්දන සිරිමල්වත්ත, සිවකුමාර්, ප්‍රියන්ත ලියනගේ, ප්‍රසන්න කපුගේ, තරින්ද ඇල්විටිගල, මහේෂ් කුමාර, තුල්‍යා සංවේදිනී, සුමුදු ප්‍රභාෂිණී, ප්‍රසන්න අධිකාරී, ජීවන්ත ජයතිස්ස කණ්ඩායම සමග ‘සිතිජයේ‘ මතකයන් පිටකෝට්ටේ, ගංගොඩවිල, නාවින්න, මහරගම පැත්තේ යන විට තවමත් අවදිවෙනවා.  

ඊට පස්සේ පක්ෂයේ තීරණයක් විදියට සම්බන්ධ වුණේ ‘මුරගල‘ සඟරාවේ කටයුතුවලට. ‘සිතිජයේ‘ මතවාදයට වඩා හාත්පසින්ම වෙනස් මතවාදී පසුබිමක් ‘මුරගල‘ට තිබුණේ. සඟරාව ගොඩදැමීමේ වගකීම තිබුණේ ජීවන්ත සහෝදරයාට සහ මට. පක්ෂය එවක තෝරා තිබුණු දේශපාලන උපාය මාර්ගය ඇතුළෙ ඊට අනන්‍ය මතවාදය සමාජගත කිරීම තමයි ‘මුරගල‘ භූමිකාව වුණේ. එතැනදි ඇතැම් තත්ත්වයන් සම්බන්ධව පෞද්ගලික මතවාද කොහොම වුනත් පක්ෂයේ උපාය මාර්ගය තමයි ඉදිරියට ගත්තෙ. ඒවායේ දේශපාලන වැරදි - නිවැරදිභාවය තීන්දු කිරීම ඉතිහාසය සිදු කරනු ඇති. (අද ඒවා වැරදියි කියන ඇතැමුන් තමයි එදා අපේ දේශපාලන ගුරුවරු විදියට ඒ මතවාදවල නිවැරදිභාවය වෙනුවෙන් දැඩිව පෙනී හිටියෙත්.)  

එක් තීරණාත්මක මොහොතක, පක්ෂයෙන් සමුගැනීමෙන් පසුව ඇතිවුණේ දරාගත නොහැකි හුදෙකලාවක්. ඒ වගේම පුවත්පත්කලා කටයුතුවලින් ඈත්වීමට සිදුවීමෙන් දැනුණේ සාංකා සහගත වේදනාවක්. එය තරමක් අඩු වුණේ වෛද්‍ය අතුල සුමතිපාල මහතා සමග ටික කාලයක්, පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ‘ගවේෂණ‘ සඟරාව සංස්කරණය කිරීමත් සමග. ඒ වගේම අතහැරී තිබූ උසස් අධ්‍යාපන කටයුතු නැවත පිළිවෙළක් කරගන්න කල්පනා කළෙත් ඔය කාලෙ. පොතක් පතක් ලියමින් සාහිත්‍යකරණය පැත්තට යොමුවුණෙත් ඔය අතරෙමයි. 

කොහොම වෙතත්, අවුරුදු 15ක්  විතර කාලයක් පුවත්පත්කලා කටයුතුවල යෙදී සිටි කෙනෙක් විදියට පුවත්පත් කලා ක්ෂේත්‍රයේ නිර්නාමිකව වැඩ කරන එක වෙනස් අත්දැකීමක්. මාධ්‍ය හැඳුනුම්පත බෙල්ලෙ එල්ලාගෙන පොරවල් වීමේ වුවමනාවක් අපට තිබුනෙ නැහැ. විශ්වාස කළ දේශපාලන මතවාද ඇතුළෙ ඉඳගෙන අපි ලියුවෙ සමාජය වෙනුවෙන්, සමාජ අවශ්‍යතාවක් ඉෂ්ට කිරීම වෙනුවෙන්. එතැනදි අපේ පුද්ගල නාමය වැදගත් කාරණයක් වුණේ නැහැ. ඉතිං පුවත්පත්කලා ජීවිතයෙදි දැන උගත් පාඩම් ගැන ස්මරණයන් ඔය ඇති. මුල් නැති එහෙත් දලු ලන වර්තමාන මාධ්‍ය පරම්පරාවට අපි වගේ වුන් බොහෝ දුරස්ථ, ශීඝ්‍රයෙන් වඳවෙලා යන සත්ත්ව කොට්ඨාසයක් වගේ දැනෙනවා ඇති. 

ඒ වගේ අතීත පසුබිමක ගොඩනැගුණු මම, බ්ලොග් ලෝකයට ආගමනය අහම්බෙන් සිදු වුණු දෙයක්. ගූගල්+ හි මගේ නිර්මාණයකට ප්‍රතිචාරයක් දක්වා තිබුණු ‘කල්‍යාණ මිත්‍රගේ‘ උපදෙසක් සහ ඉන්පසුව ‘මාතලන්ගේ‘ මඟ පෙන්වීමක් අනුවයි, බ්ලොග් අඩවි දෙකක් (ගොඩයාගේ අඩවිය සහ පාඨයකාගේ පිටුව) නිර්මාණය කරගත්තේ. මගේ අරමුණ වුණේ එදිනෙදා සමාජ දේශපාලන සිදුවීම්වලට ප්‍රතිචාර දක්වන පෝස්ටු මුදා හරිනවාට වඩා අදටත්, හෙටටත් යම් අධ්‍යයන හා දැනුම් අවශ්‍යතාවක් සපුරාගැනීම සඳහා වැදගත් වන ලිපි, නිර්මාණ බ්ලොග් අවකාශයට මුදා හැරීම.  

ඇත්තටම අපි පුවත්පතක හෝ සඟරාවක ලිපියකට අවශ්‍ය කරුණු සොයන්න ලේඛනාගාරය, ජාතික පුස්තකාලය වගේ තැන්වල දවස් ගණන් වාත වුණු හැටි තාම මතකයි. විද්වතකු සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වල ඒක පළ කිරීමට සුදුසු ආකාරයට සංස්කරණය කරන්නට පැය ගණන් ගත කළ හැටි තාමත් මතකයි. එදා ඒ විදියට ලිපියක් නිවැරදිව ලියන්නට අප ගත් වෙහෙස දිහා ආපසු හැරී බලද්දි ඒ කාපු කට්ට සුන්දරයි. ජීවිතයට එකතු කරපු අත්දැකීම් බොහොමයි. එක රැයින් ලේඛකයින් වීමේ සිහිනයක් ඒ වෙහෙස ඇතුළෙ තිබුණෙ නැහැ. 

නමුත් අද පරම්පරාව අධ්‍යයන කටයුත්තක් සඳහා හෝ පුවත්පත් ලිපියක් සකස් කිරීම සඳහා හෝ එවැනි වෙහෙසක් දරන්න සූදානම් බවක් පෙනෙන්නට නැහැ. අපි වගේ පුස්තකාලයක පරණ පොත් පත්තර පෙරළමින් දූවිලි කාගෙන තොරතුරක් හොයා ගන්නවට වඩා සනීපෙට ඉඳගෙන අන්තර්ජාලයේ තිබෙන තොරතුරකින් සෑහීමකට පත්වෙන්න ඔවුන් කැමතියි. ‘මං පුළුවන් තරං නෙට් එකේ සර්ච් කළා. ඒත් මොකවත් හොයාගන්න බැරිවුණා.... ‘ වගේ උත්තර මේ පරපුර අතර සුලබයි.  

ඉතිං මම කලකට පෙර පුවත්පත් හා සඟරා සඳහා ලියූ ලිපි, යම් යම් අධ්‍යයන කටයුතු වෙනුවෙන් ලියූ ලිපි සහ ලියන ලිපි අතරින් තෝරාගත් ලේඛනත්, අනෙකුත් නිර්මාණත් බ්ලොග් අවකාශයට මුදා හරින්න හිතුවෙ ඒ වගේ දැනුම සොයන කෙනෙකුට කවදා හෝ ප්‍රයෝජනයක් වේවි කියන බලාපොරොත්තුවෙන්. පෘථිවියේ කොතැන හෝ වෙසෙන සිංහලෙන් සිතන කෙනෙකුට කවදා හෝ වැඩක් වේවි කියන අදහස තමයි බ්ලොග් කරණයේදී මට තිබෙන්නේ. 

ඒ වගේම කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ඒ වගේම අන්තර්ජාලයට සිංහල භාෂාව ඇතුළත් කරගැනීම සඳහා විශාල අරගලයක යෙදුණු ටියුරන්ස් නන්දසාර මහතා දැනට අවුරුදු දහයකට වගේ ඉහත දවසක වැඩමුළුවකදි පැවසූ අදහසක් මගේ සිතේ තදින් වැඩ කරනවා. ඔහු කිවුවේ, අන්තර්ජාලයේ තවමත් සිංහල භාෂාව භාවිත කරන වෙබ් අඩවි, බ්ලොග් අඩවි තියෙන්නේ කීයෙන් කීයද? කියලා. ඇත්තටම අනාගත දවසක ලෝකයේ භාෂා පිළිබඳව හඳුනාගන්නා, අධ්‍යයන කරන හා තීන්දු තීරණ ගන්නා ක්ෂේත්‍රයක් බවට අන්තර්ජාලය පත්වේවි. සෑහෙන කාලයක් තිස්සේ සිංහල අකුරු එක්ක හටන් කරන කෙනෙකු විදියට සයිබර් අවකාශයේ සිංහල භාෂාව භාවිත වන ප්‍රතිශතය අංශු මාත්‍රයකින් හෝ වැඩි කරන්න බ්ලොග්කරණය ඔස්සේ මමත් දායක වෙනවා කියන පුංචි සතුටක් පෘථග්ජනයකු හැටියට මට දැන් දැනෙනවා.  

ඇත්තටම පුවත්පත්කලාවේදී අපි ලියන ලිපියකට ‘දොරටුපාලයින්‘ හිටියා. නමුත් බ්ලොග් අවකාශයේදී ලේඛකයාම තමයි සර්ව බලධාරියා වන්නේ. එය එක් අතකින් විශාල නිදහසක් තමයි. ඒත් ඒ නිදහස තුළම, ලියන කෙනාට පැවරෙන වගකීම බැරෑරුම් කියලයි මට හිතෙන්නේ. කෙසේ වෙතත්, මේ නව මාධ්‍ය අවකාශය ඇතුළේ මගේ හැකියාවෙනුත් සිංහල බ්ලොග් ලෝකයට යමක් එකතු කරන්නට මට පුළුවන් වේවි කියා විශ්වාස කරනවා. ඒ වගේම බ්ලොග් ලෝකයේ ජ්‍යේෂ්ඨයින්, අප වැනි දුහුනන්ගේ බ්ලොග්කරණයන් ගැන උපේක්ෂාවෙන් බලාවි කියා හිතනවා.  

ගේ 'බ්ලොගාගමනය' පිළිබඳ ‘දොරකඩ අස්න‘ මෙතෙකින් සමාප්තයි.

5 comments:

  1. හදවතින්ම සුබ පතනවා...

    ReplyDelete
  2. පාසල් කාලෙදි මමත් වයඹ විත්ති කියන පත්තරෙට් ලිව්වා. පුංචි ලක්බිමට ලිව්වා. කොහොමහරි ලියන එක කාලෙකදි නතරවුණා. එතකොට දැනුනේ තනිකමක්. ඒත් ලිවීමට ඇති ආශාව නැතිවුනේ නෑ. ඉතින් සහෝ. දිගටම ලියන්න මගෙනුත් සුභපැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද. නිතර මොකක් හෝ ලියන්න බැරි වේවි. නමුත් අතරින් පතර හෝ වටින වැදගත් දෙයක් ලියන්න උත්සාහ කරනවා. (මගේ අනෙක් බ්ලොග් දෙක http://patayakagepituwa.blogspot.com/ සහ http://aluthaupankavi.blogspot.com බලන්න. ඔබට වැදගත් වන දේවල් තිබේවි.)

      Delete