Saturday, December 10, 2016

මහාචාර්ය බී.ඒ. අබේවික්‍රම : වනාන්තරයකදී ගන්නා හුස්ම පොදක් පාසා අප ඔහුට ණය ගැති ය.



2001 වසරේදී මෙරට වනාන්තර විෂයය පැත්තෙන් එක්තරා බරපතළ තත්ත්වයක් උද්ගත වී තිබිණ. එනම්, අැමරිකා එක්සත් ජනපදය තමන්ට ලෝකයේ රටවල් අැති ණය හිලව්වට ඒ රටවල අැති වනාන්තර  අැමරිකාවට පවරාගැනීමට අවශ්‍ය නීතියක් අැමරිකාවෙහි සම්පාදනය කරගෙන අැති බවයි. මෙය මෙරට පරිසර ක්ෂේත්‍රයේ බලවත් සංවාදයක් අැති කරන්නට සමත් විය. මේ කාරණය නිමිති කරගෙන 'සිතිජය' සඟරාවේ කවරයේ කතාව ලියන්නට අපි කටයුතු කළෙමු. 

මෙහිදී ලංකාවේ වනාන්තර සම්බන්ධව මීට පෙර උද්ගත වූ අනතුරු දායක තත්ත්වයන් ගැන තොරතුරු ලබාගැනීම පිණිස මම උද්භිද විද්‍යා මහාචාර්ය බී.ඒ. අබේවික්‍රම මහතා හමු වීමි. ඒ වන විටත් අවුරුදු 81ක් පමණ වයසැති මහාචාර්යතුමා තමන්ගේ විෂය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවට එකඟ වූයේ ඉතා කැමැත්තෙනි. පැය දෙකක් පමණ දීර්ඝ සම්මුඛ සාකච්ඡාව අවසානයේ එතුමා එක් ඉල්ලීමක් කළේ ය.

''දරුවො, මේක සඟරාවෙ පළ කරන්න කලින් මට පෙන්වන්න පුළුවන් ද?''

එය සාධාරණ ඉල්ලීමකි. සාමාන්‍යයෙන් සම්මුඛ සාකච්ඡාවක සටහන එසේ පෙන්වීම සිදු නො කළත්, මෙම සම්මුඛ සාකච්ඡාවේ අැති විෂයබද්ධ භාවයත්, මහාචාර්යතුමාගේ වයෝවෘද්ධ භාවයත් අනුව යමක් අතපසු වී තිබෙන්නට හැකි බැවින් මම එ් ඉල්ලීමට එකඟ වීමි. දින තුනකට පමණ පසු එම සම්මුඛ සාකච්ඡාවේ සටහන පෙන්වීම පිණිස මම නැවත එතුමා හමුවීමි. එතුමාට අැසෙන්නට එය මට කියවන්නට සිදූ වූවා වැනි මතකයක් තිබේ. තැන් කිහිපයක අඩු පාඩු සකස් කළ යුතු අාකාරය ගැන උපදෙස් දුන් එතුමා, සිය දීර්ඝ සම්මුඛ සාකච්ඡාව සංස්කරණය කර තිබූ අාකාරය ගැන ද සතුටු විය. 

සම්මුඛ සාකච්ඡාව සඟරාවේ පළ වූ පසු, පියල් පරාක්‍රම සොයුරා අැතුළු පරිසර ක්ෂේත්‍රයේ කිහිප දෙනෙක්ම ඒ සාකච්ඡාවේ වැදගත්කම ගැන කතා කළා මතක ය. 

පසුගිය කාලයේ සාලාවේ තුනී ලෑලි සංස්ථා භූමියේ පිහිටා තිබූූ යුද හමුදාවේ අායුධ ගබඩාව පිපිරීම සම්බන්ධව පුවත් දකිද්දී මගේ සිහියට අාවේ, එහි ඉතිහාසය සම්බන්ධ ව මහාචාර්ය අබේවික්‍රමයන් සමග සිදු කළ සාකච්ඡාවේ මතකයන් ය. 

අද මහාචාර්ය බී.ඒ. අබේවික්‍රම මහතා ජීවතුන් අතර නැත. එතුමා 2011 වසරේදී ජීවිතයෙන් නික්මිණ. 

අපේ රටේ වනාන්තර සම්බන්ධව කතා කිරීමේදී මේ විශිෂ්ට විද්වතා විසින් ඉටු කර අැති සුවිශිෂ්ට භූමිකාව අප නැවත නැවත සිහිපත් කිරීම වටනේ යැයි සිතේ. මෙරට වැසි වනාන්තරයකදී අප ගන්නා හුස්ම පොදක් වෙනුවෙන් පවා අප ඔහුට ණය ගැති ය. මා එසේ කියන්නේ මක් නිසාදැයි මෙම ලිපිය කියවීමෙන් ඔබට වැටහෙනු අැත. සම්පූර්ණ ලිපිය මෙතැන.

No comments:

Post a Comment